මහ රෑ කාන්තාවකට ෆේස්බුක් පෙමිවතා කළ දේ..සියලු කතුන් මේ ගැන අවධානයෙන් ඉන්න..

Sri Lanka Police Bandaranaike International Airport Ministry of Foreign Affairs - sri lanka
By Aruna Mar 14, 2024 01:36 AM GMT
Report

ඕමානයේ ගෘහ සේවයට ගොස් මෙරටට පැමිණි කාන්තාවක් රවටා ඇය සතු රුපියල් ලක්ෂ දොළහකට ආසන්න මුදල් හා දේපොළ කොල්ල කා පලාගිය පුද්ගලයකු සොයා ගල්ගමුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙන පුවතක් වාර්තා වනවා.

සැකකරු මෙම කාන්තාව මුහුණු පොත ඔස්සේ හඳුනාගෙන ඇති බවත්, පසුව ඒ ඔස්සේ ඇය හා සමීප සම්බන්ධතාවක් ගොඩ නගාගෙන ඇති බවත් පොලිසිය සඳහන් කර සිටිනවා.

තඹුත්තේගම මල්වානේගම ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි කාන්තාවක් මීට වසර දෙකකට පෙර ඕමානයේ ගෘහ සේවයට ගොස් තිබුණු අතර, ඇය මුහුණු පොත ඔස්සේ ලහිරු මධුසංක නමැති පුද්ගලයකු හඳුනාගෙන ඇත.

තමන් යුද හමුදා සාමාජිකයකු බව කියමින් මෙම කාන්තාව හා සම්බන්ධතාව පවත්වාගත් මෙම පුද්ගලයා පසුගියදා (11) රාත්‍රියේ කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළට පැමිණ ඇත්තේ එම කාන්තාව කැටුව යාමට බවයි වාර්තා වන්නේ.

පසුව මෙම කාන්තාව සමගින් කොළඹට පැමිණි මෙම පුද්ගලයා ඇයගේ බැංකු ගිණුම්වල තිබූ මුදල් ද රැගෙන ඇය මහනුවර ප්‍රදේශයට කැටුව යාමට උත්සාහ කර ඇත.

තමන්ට යුද හමුදා කඳවුරට යා යුතු බව කියමින් මෙම කාන්තාව ගල්ගමුව ප්‍රදේශයට කැටුව විත් කිසියම් බීමක් ලබාදී ඇය සිහිසුන්කර රුපියල් ලක්ෂ හතහමාරක මුදලක්ද, රන් මාලයක් හා අත්පඳනා දෙකක්ද ජංගම දුරකතන දෙකක්ද රැගෙන පලා ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් වින්දිත කාන්තාව පසුගියදා (12) ගල්ගමුව පොලිසියට කරන ලද පැමිණිල්ල මත ගල්ගමුව පොලිසියේ අපරාධ අංශ ස්ථානාධිපති ප්‍රියන්ත ජයසිරි මහතා ඇතුළු නිලධාරීන් පරීක්ෂණ ආරම්භ කර ඇත.

සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.