"ඕනෑම මොහොතක යළි සටන කැඳවනවා" - උලපනේ සුමංගල හිමියන්ගෙන් සැර ප්‍රකාශයක්

Sri Lanka Galagoda Aththe Gnanasara Thero Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Oct 26, 2026 11:19 AM GMT
Report

ශාසනයට එරෙහිව කෙනෙහිලිකම් සිදුවන්නේ නම් ඊට එරෙහිව ඕනෑම මොහොතක යළි සටන් කැඳවීමට සූදානම් බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ සඳහන් කළේ, මහානායක හිමිවරුන්ගේ අනුදැනුම සහ මඟපෙන්වීම මත තමන් ඇතුළු පිරිස කටයුතු කරන බවයි.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමේ සිදුවීම හුදෙකලා සිදුවීමක් ලෙස සලකා අත්හැරීමට තමන් සූදානම් නොමැති බවද උන්වහන්සේ ප්‍රකාශ කළා.

“ශාසනයට අත තැබුවොත් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නවා”

සම්බුද්ධ ශාසනයට අදාළ ගැටලු මතුවන සෑම අවස්ථාවකදීම තමන් ඉදිරියට පැමිණ කටයුතු කළ බව සඳහන් කළ උලපනේ සුමංගල හිමියෝ, ජාතික මෙහෙවරක් ඉටු කිරීමේදී ඥානසාර හිමියන් ඉදිරියට පැමිණි බවද පැවසුවා.

ඥානසාර හිමියන්ට එරෙහිව නඩු පැවරී ඇත්තේ පෞද්ගලික වාසි වෙනුවෙන් නොව රණවිරුවන් සම්බන්ධයෙන් අදහස් පළ කිරීම ඇතුළු කරුණු හේතුවෙන් බවටද උන්වහන්සේ අදහස් පළ කළා. එමෙන්ම, ඥානසාර හිමියන් නිදහස් කළ යුතු බවට තමන් ඇතුළු පිරිස අදටත් පෙනී සිටින බවද සඳහන් කළා.

“ජනතාවගෙන් විශාල ප්‍රතිචාරයක් ලැබුණා”

මීට පෙර පැවැත්වූ පාගමන සහ සත්‍යග්‍රහය හමුවේ තම කණ්ඩායමේ ශක්තිය හෝ බලය අඩු නොවූ බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ ප්‍රකාශ කළා. තමන් ඇතුළු පිරිසට විවිධ ලේබල් අලවා විවේචන එල්ල කළද ජනතාවගෙන් විශාල ප්‍රතිචාරයක් ලැබුණු බවද උන්වහන්සේ පැවසුවා.

මහානායක හිමිවරුන්ට ගෞරවයක් දැක්වීමේ අරමුණින් විරෝධතා ක්‍රියාමාර්ග තාවකාලිකව පසුපසට ගත් බවත්, එය සටන අත්හැරීමක් නොවන බවත් උන්වහන්සේ අවධාරණය කළා.

“ඕනෑම තැනකින් සටන ආරම්භ කරන්න පුළුවන්”

ඉදිරියේදී විවිධ ආකාරයේ විරෝධතා ක්‍රියාමාර්ග ගන්නා බව සඳහන් කළ උලපනේ සුමංගල හිමියෝ, ශාසනයට අත තැබීමට එරෙහිව ඕනෑම අවස්ථාවක ජනතාව එක්රැස් කිරීමට හැකියාව පවතින බවද ප්‍රකාශ කළා. තමන්ට ආණ්ඩුව සමඟ දේශපාලන ගැටලුවක් නොමැති නමුත් ශාසනයට මැදිහත් නොවිය යුතු බව තම ස්ථාවරය බවද උන්වහන්සේ සඳහන් කළා.

මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්, බලංගොඩ කාශ්‍යප හිමියන් මෙම විරෝධතා ව්‍යාපාරයට එක්වූ තවත් භික්ෂූන් වහන්සේ නමක් පමණක් බවත්, උන්වහන්සේගේ සියලු ගමන්බිමන් සම්බන්ධයෙන් සොයා බැලීමේ විශේෂ අවශ්‍යතාවක් තමන්ට නොමැති බවත් පැවසුවා.