දිස්ත්‍රික්ක අටක් සඳහා අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කෙරේ - සියලු විස්තර මෙන්න..
පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවය තවදුරටත් දිවයින ආශ්‍රිතව පවතින බැවින් වැසි තත්ත්වය ඉදිරියටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
එම නිවේදනයේ දැක්වෙන්නේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ,උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකියි.
සෙසු ප්‍රදේශවල ද ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැකි බව ද එම නිවේදනයේ සඳහන්. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
මේ අතර, දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේ දී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්රිත අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතින අතර අද දින (11) දහවල් 12:11 ට උලුක්කුලම, අනුරාධපුර නව නගරය, කයිනට්ටම සහ පලුගොල්ලැව යන ප්‍රදේශවලට හිරු මුදුන් වනු ඇති.
එමෙන්ම, ඊයේ (10) දින ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් දිවයිනේ තදාසන්න ප්‍රදේශවල ඇතැම් ස්ථාන ජලයෙන් යටවී ගමනාගමනයට ද බාධා එල්ල වුණා. ඒ අනුව, කොළඹ ආමර් වීදිය, නුගේගොඩ, කිරුළපන ආදී ප්‍රදේශ මේ අතර විශේෂයි. උතුරුමැද පළාතට ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් ඇතැම් ජලාශ පිටාර මට්ටමට ආසන්න වීමේ මුල් අදියර පසුකර ගොස් තිබෙනවා.
මේ හේතුවෙන් රාජාංගනය මෙන්ම දැදුරු ඔය ජලාශවල වාන් දොරටු විවෘත කිරීමට කටයුතු කොට ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ. එමෙන්ම, අධික වර්ෂාව හේතුවෙන් නායයෑමේ අවදානම් නිවේදනයේ පළමු මට්ටමේ නිවේදනය ද ඇතැම් ප්‍රදේශවලට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කරනු ලැබුවා.
බදුල්ල, කොළඹ, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ සහ නුවරඑළිය ආදී දිස්ත්‍රික්ක මේ අතර ප්‍රධානයි. මාවුස්සාකැලේ මෙන්ම කාසල්රී ජලාශවල ද වර්ෂාපතනය නොලැබී වියළි ගොස් තිබූ ආකාරය මේ වනවිට වර්ෂාව පතිත වීම හේතුවෙන් පහව ගොස් ඇති බව ද එහි ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවා.
මෙලෙස දිගින් දිගටම වර්ෂාව ලැබෙන්නේ නම්, ජල විදුලිය උත්පාදනයට එය මහඟු දායකත්වයක් දක්වන බව ද මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක ප්‍රකාශ කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |