ඉදිරි පැය 36 සදහා කාළගුණයෙන් අලුත්ම දැනුම්දීමක්..!

Sri Lanka Climate Change Weather
By Sewvandhi Sep 01, 2023 01:34 PM GMT
Report

ඉදිරි පැය 36 සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කාලගුණ වාර්තාව නිකුත් කර තිබේ. බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇතිවන බවයි, අදාළ වාර්තාවේ සඳහන් වන්නේ.

මේ අතර එම නිවේදනයේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවද සඳහන්.

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, වවුනියා සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

මේ අතර කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටය.

මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 4ක් සඳහා කහ වර්ණයෙන් යුතු නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම, නාගොඩ සහ ඇල්පිටිය ප්‍රදේශවලට මෙම කහ වර්ණයෙන් යුතු නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම නිකුත් කර ඇත.

එසේම කළුතර දිස්ත්‍රික්කයේ මතුගම, බුලත්සිංහල, ඉංගිරිය සහ වලල්ලාවිට ප්‍රදේශවලටද එම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබේ.

කෑගල්ල දිස්ත්‍රික්කයේ කහ වර්ණයෙන් යුතු නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇත්තේ දැරණියගල, යටියන්තොට, බුලත්කොහුපිටිය, රුවන්වැල්ල සහ දෙහිඕවිට ප්‍රදේශවලටය.

රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ, කුරුවිට සහ රත්නපුර ප්‍රදේශවලට ද කහ වර්ණයෙන් යුතු නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබේ.