අද සිට QR පාස් එකට තෙල් දුන්නත් ඇත්තටම සිදු වූ දේ ගැන හෙළිදරව්වක්..

Ceylon Petroleum Corporation Sri Lanka Sri Lanka Fuel Crisis National Fuel Pass
By Aruna Jul 25, 2022 02:02 AM GMT
Report

කිසිදු ඉන්ධන පිරවුම්හලක් QR කේතය ගැන දැනුවත් නැහැ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ඉන්ධන පිරවුම්හල්වලින් QR කේතය යටතේ ඉන්ධන නිකුත් කිරීම අද (25 වැනිදා) සිට ආරම්භ කරන බව බලශක්ති අමාත්‍යාංශය කියා සිටියත් කිසිදු ඉන්ධන පිරවුම්හලක් ඒ සම්බන්ධයෙන් දැනුවත් කර නොමැති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය ප්‍රධාන පුවත්පතකට පවසා තිබේ.

එම සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න මහතා පවසා සිටින්නේ, තවමත් ඉන්ධන නොලැබෙන පිරවුම්හල් රට පුරා ඇති බවයි.

එමෙන්ම පිරවුම්හල්වලට දැනට ලබාදෙන තොග ද ප්‍රමාණවත් නොවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මෙම කේත ක්‍රමය යටතේ ඉන්ධන නිකුත් කිරීමට සියලු ඉන්ධන පිරවුම්හල් එකඟ බවත්, ඒ හරහා පවතින තෙල් මාෆියාව තුරන් කිරීමේ හැකියාව පවතින බෙදුම්කරුවන්ගේ අදහස බවත් ලේකම්වරයා කියා සිටියේය.

ඉන්ධන නොමැති වීමෙන් වසා දමා තිබූ කාලයේද පිරවුම්හල්වලට හමුදා ආරක්ෂාව ලබාදී තිබූ බවත් QR කේතය යටතේ ඉන්ධන නිකුත් කිරීමට පෙර පිරවුම්හල්වලට ලබාදී තිබූ ත්‍රිවිධ හමුදා ආරක්ෂාව යළි ලබාදෙන්නැයි ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය බලශක්ති ඇමතිවරයාගෙන් ඉල්ලා සිටි.

ජාතික ඉන්ධන බලපත්‍රයට අදාළව කිව්.ආර්. කේතයට ඉන්ධන ලබාදීම පෙරේදා (23වැනිදා) දිවයින පුරා ස්ථාන 20 කදී වාහන 4,708 කට නියමු ව්‍යාපෘතියක් ලෙස සාර්ථකව අත්හදා බලා ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්ව්ට්ර් පණිවිඩයක් නිකුත් කරමින් ඊයේ (24 වැනිදා) සඳහන් කර තිබේ.

නමුත් ඇණවුම් ලබානොදීම, ඇණවුම් ප්‍රමාදයන් සහ බෙදාහැරීමේ ප්‍රමාදයන් හේතුවෙන් කිව්.ආර්. කේතය පරීක්ෂාවට ලක්නොවූ ස්ථාන 5 ක් තවමත් ඇති බැවින් ඉදිරි දින දෙක තුළ එම ප්‍රදේශවලද මෙම ක්‍රමය ක්‍රියාත්මක කරන බවත් ඇමැතිවරයා මෙම පණිවිඩයේ සඳහන් කර ඇත.

මෙම බලපත්‍රයට අනුව QR කේතය පරික්ෂා කරන වාහනවලට අද දිනයේද වාහන ලියාපදිංචි කිරීමේ අංකයේ අවසාන ඉලක්කමට අනුව ඉන්ධන නිකුත් කරනු ලැබේ.

අද දිනයට එනම් සඳුදා දිනයට ඉන්ධන ලබාගත හැක්කේ අංක වන 6, 7, 8, සහ 9 හිමි වාහන හිමියන් සඳහා පමණි.

මේ වන විට මිලියන තුනකට වැඩි පිරිසක් මෙම බලපත්‍රයට අනුව ඉන්ධන ලබාගැනීමට ලියාපදිංචි වී සිටියි.

වාහන අංක තහඩුවේ අවසන් අංකය 0 -1 හෝ 2 නම් අඟහරුවාදා හා සෙනසුරාදා දිනවල අවසන් අංකය 3-4-5 නම් බ්‍රහස්පතින්දා හා ඉරිදා දිනවලද අවසන් අංකය 6-7-8-9 නම් සඳුදා – බදාදා සිකුරාදා දිනවලදී ද පිරවුම්හල්වලින් ඉන්ධන ලබාගත හැකිය.

මේ අතර වාහන අංක තහඩුවේ අවසාන අංක ක්‍රමයට අනුව ඉන්ධන නිකුත් කිරීම සිදුකළද දිවයිනේ බෝහෝ ප්‍රදේශවල පිහිටි පිරවුම්හල් වෙත ඉන්ධන තොග ලැබී නොමැති බව ජනතාව පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ රියදුරන්ගේ සංගමය කියා සිටින්නේ ඉන්ධන පිරවුම්හල් වෙත බෙදාහැරෙන ටැංකි රථ ගණන සීමා කර ඇති බවය.

මේ වන විට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කරල ඇත්තේ දිනකට පෙට්‍රල් මෙට්‍රික් ටොන් 3000ක් සහ ඩීසල් මෙට්‍රික් ටොන් 4000ක් පමණ බෙදාහැරීමට බැවින් එම හේතුව මත සියලුම ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන ලැබෙනු ඇත්දැයි යන්න සැක සහිත බව එම සංගමය පෙන්වා දෙයි.

අද දිනයේ සිට මෙම QR කේතය යටතේ ඉන්ධන නිකුත් කිරීමක් සිදුවනවාද යන්න දැනගැනීම සඳහා අප විදුලි බල සහ බලශක්ති ඇමති කාංචන විජේසේකර දුරකථන මාර්ගයෙන් සම්බන්ධ කරගැනීම සඳහා අවස්ථා කිහිපයකදීම උත්සහ කළත් ඔහු එයට ප්‍රතිචාරයක් දැක්වූයේ නැත.

එමෙන්ම මේ සම්බන්ධයෙන් අප අමාත්‍යංශයේ වගකිව යුතු නිලධාරියෙකුගෙන් විමසීමක් සිදුකළවිට ඔහු ද පැවසුවේ ඒ සම්බන්ධයෙන් නිශ්චිතව පැවසිය නොහැකි බවය.

තවමත් ජාතික ඉන්ධන බලපත්‍රය ලබාගැනීමට ලියාපදිංචි වී නොමැති කණ්ඩායමක්ද ඇති බවත් ඔහු කීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now