බාල ගල් අඟුරු නැව් 19කින් රටට බිලියන 18ක පාඩුවක් - ඩොලර් මිලියන ගණනක් ගැනත් ප්‍රශ්නයක්
මහජන මුදල් සහ රාජ්‍ය වත්කම් ආරක්ෂා කරන බවට පොරොන්දු ලබා දෙමින් බලයට පත්වූ වත්මන් රජය එම පොරොන්දු මේ වන විට සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කර ඇති බව දූෂණ විරෝධී කාර්ය සාධක බලකායේ කැඳවුම්කරු නිරෝෂන් පාදුක්ක මහතා චෝදනා කරයි.
අද (06) ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු නැව් 19ක් මෙරටට ආනයනය කිරීම හේතුවෙන් රටට රුපියල් බිලියන 18ක මූල්‍ය අලාභයක් සිදුව ඇති බවයි.
මෙම ගල් අඟුරු ගනුදෙනුව සම්බන්ධයෙන් විගණකාධිපතිවරයාගේ, මහජන උපයෝගිතා කොමිසමේ සහ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කමිටුවේ වාර්තා මගින් අදාළ කරුණු තහවුරු වී ඇති බවද ඔහු සඳහන් කළේය.
එවැනි මූල්‍ය අලාභයක් පිළිබඳ චෝදනා මතුව ඇති පසුබිමක පාසල් දරුවන් අධ්‍යාපනය ලබන අතරතුර පවා ජනතාවට දිනපතා පැය දෙකක විදුලි කප්පාදුවකට මුහුණදීමට සිදුව ඇති බව පාදුක්ක මහතා පෙන්වා දුන්නේය.
අතුරුදන් වූ බව කියන ඩොලර් මිලියන ගණනක් ගැන ප්‍රශ්නයක්
තැපැල් දෙපාර්තමේන්තුවට ලැබිය යුතු ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් සහ තවත් ඩොලර් ලක්ෂ 6ක මුදලක් අතුරුදන්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හෝ රජය මෙතෙක් නිසි පැහැදිලි කිරීමක් ලබාදී නොමැති බවටද ඔහු චෝදනා කළේය.
මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව සහ භාණ්ඩාගාරය සම්බන්ධයෙන් වගකීම් දරන ජනාධිපතිවරයා බේරුවල සහ බදුල්ල වැනි ප්‍රදේශවල මහජන රැස්වීම් අමතමින් සිටියද, අදාළ මුදල් සම්බන්ධයෙන් ජනතාවට කරුණු පැහැදිලි කර නොමැති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.