කාන්තාරයේ වීරයා නිහඬ වෙයි - ඩුබායිහි ප්‍රසිද්ධ ශ්‍රී ලාංකිකයෙකු ජීවිතයෙන් සමුගනී
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) ඕෆ්-රෝඩිං (Off-roading) සහ කඳවුරු බැඳීමේ ක්ෂේත්‍රයේ ප්‍රකට චරිතයක් වූ ශ්‍රී ලාංකිකයෙකු වන මිචෙල් පෙරේරා මහතා වයස අවුරුදු 59දී ඩුබායිහිදී අභාවප්‍රාප්ත වී තිබේ.
‘මිච්’ (Mitch) යන නමින් ප්‍රකටව සිටි ඔහු, ගල්ෆ් නිවුස් පුවත්පත විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ‘ගල්ෆ් නිවුස් ෆන් ඩ්‍රයිව්’ (Gulf News Fun Drive) ඉසව්වේ දීර්ඝකාලීන සහ ප්‍රවීණ මාර්ෂල්වරයෙකු ලෙස කටයුතු කළ අයෙකි.
අගෝස්තු 14 වැනිදා විවෘත හෘද සැත්කමකට භාජනය වීමෙන් පසු ඇති වූ සංකූලතා හේතුවෙන් බදාදා දහවල් ඔහු මියගිය බව ඔහුගේ පවුලේ සාමාජිකයන් බ්‍රහස්පතින්දා ගල්ෆ් නිවුස් වෙත තහවුරු කර තිබේ.

සැත්කමෙන් පසු සංකූලතා රැසක්
රුධිරයේ සීනි මට්ටම 400 දක්වා ඉහළ යාම හේතුවෙන් රෝහල්ගත කළ අවස්ථාවේදී ඔහුගේ හෘද කපාටයක කාන්දුවක් පවතින බව වෛද්‍යවරුන් හඳුනාගෙන තිබේ.
ඒ අනුව ඔහු විවෘත හෘද සැත්කමකට යොමු කර ඇති අතර, ඉන් අනතුරුව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී හුස්ම ගැනීමේ අපහසුතා, වකුගඩු ක්‍රියාකාරිත්වයේ ගැටලු සහ පෙනහළු ආශ්‍රිත සංකූලතා ඇති වී ඇත.
කෙසේ වෙතත්, පසුව ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යම්තාක් දුරට යහපත් අතට හැරී පුනරුත්ථාපන කටයුතු ද ආරම්භ කර තිබුණි.
එහෙත් අභ්‍යන්තර රුධිර වහනයක් ඇතිවීමත් සමඟ අවසන් දින කිහිපයේදී ඔහුගේ තත්ත්වය යළිත් අයහපත් වී තිබේ. ඔහුගේ ඥාතියෙකු වන ඩැල්රීන් දේවදාසන් ගල්ෆ් නිවුස් වෙත පවසා ඇත්තේ, සැත්කමෙන් පසු අවස්ථා කිහිපයකදීම වෛද්‍යවරුන් ඔහුගේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තු අඩු බව දැනුම් දුන්නද, සෑම අවස්ථාවකදීම ඔහු දැඩි සටනකින් යළි සුවය ලබමින් සිටි බවයි. වෛද්‍යවරුන්ගේ උපරිම උත්සාහය මධ්‍යයේ වුවද අවසානයේ ඔහු ජීවිතක්ෂයට පත්වූ බව ඇය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

දශක ගණනාවක ෆන් ඩ්‍රයිව් මතකයක්
මිචෙල් පෙරේරා මහතාගේ ගල්ෆ් නිවුස් ෆන් ඩ්‍රයිව් ඉසව්ව සමඟ පැවති සම්බන්ධතාව 1986 වසරේ පැවති එහි පළමු ඉසව්ව දක්වා දිව යයි. එම අවස්ථාවේදී ඔහු මාර්ෂල්වරයෙකු ලෙස කටයුතු කළ සිය පියා වන ක්‍රිස් පෙරේරා සමඟ නාවිකයෙකු ලෙස එම ඉසව්වට එක්ව තිබේ.
පියාගේ අඩිපාරේ යමින් 1987 වසරේ රියදුරු බලපත්‍රය ලබාගත් ඔහු, පසුව සහතිකලත් කාන්තාර රියදුරෙකු බවට පත්ව මාර්ෂල්වරයෙකු ලෙස කටයුතු කිරීම ආරම්භ කර ඇත. ඉන් අනතුරුව දශක ගණනාවක් පුරා වාර්ෂික ෆන් ඩ්‍රයිව් ඉසව්වට සක්‍රීයව දායක වූ ඔහු, එම ඉසව්ව සාර්ථක කර ගැනීම සඳහා විශාල මෙහෙවරක් ඉටු කළේය. තරගයට සහභාගී වන රියදුරන්ට සහාය වීම, දුෂ්කර කාන්තාර මාර්ග ඔස්සේ වාහන මෙහෙයවීම, අතරමං වූ වාහන යළි ගොඩගැනීමේ සහාය ලබාදීම සහ නවක රියදුරන්ට උපදෙස් ලබාදීම ඔහුගේ සේවාවන් අතර ප්‍රධාන විය.
ජර්මනියේ බිරිඳ සහ පුතු, ශ්‍රී ලංකාවේ වයෝවෘද්ධ දෙමාපියන්
මිචෙල් පෙරේරා මහතා මියයන විට ඔහුගේ බිරිඳ සහ පුතු ජර්මනියේ පදිංචිව සිට ඇති අතර, වයස අවුරුදු 85 සහ 90 ඉක්මවූ ඔහුගේ දෙමාපියන් ශ්‍රී ලංකාවේ ජීවත් වෙති.
ඔහු සිය දෙමාපියන්ගේ එකම දරුවා බවද වාර්තා වේ. මේ අතර, මියගිය මිචෙල් පෙරේරා මහතාගේ දේහය යළි ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ කටයුතු සඳහා ඩුබායිහි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය පවුලේ සාමාජිකයන්ට සහාය වෙමින් සිටී.
ඕෆ්-රෝඩිං සහ කඳවුරු බැඳීම කෙරෙහි දැඩි ඇල්මක් දැක්වූ ඔහු, වාහන සම්බන්ධයෙන් තිබූ උනන්දුව නිසා එක්සත් ජනපදයට පවා සංචාරය කර තිබේ. වසර ගණනාවක් පුරා සිය දැනුම, අත්දැකීම් සහ මිත්‍රත්වය තුළින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඕෆ්-රෝඩිං ප්‍රජාව තුළ විශේෂ ස්ථානයක් හිමිකරගත් මිචෙල් පෙරේරා මහතාගේ වියෝව එම ප්‍රජාවට පිරිමැසිය නොහැකි පාඩුවක් වී තිබේ.