පාසල් 114ක් සම්බන්ධව අප්‍රේල් 01 වන දා සිට ක්‍රියාත්මක කිරීමට ගිය දෙයක් හදිසියේම නතර කරයි..

Ministry of Education Provincial Council Sri Lankan Schools Education
By Aruna Mar 28, 2024 04:17 AM GMT
Report

ලබන මස පළමු වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ වයඹ පළාත් පාසල් එකසිය දාහතරක විදුහල්පති සේවයේ ස්ථාන මාරු ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා විසින් නතර කරනු ලැබ ඇති බව වාර්තා වනවා.

නීත්‍යනුකූල මෙම ස්ථාන මාරු නතර කිරීමට විරුද්ධව ලබන පළමු වැනිදා ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිට සත්‍යග්‍රහයක් පැවැත්වීමට විදුහල්පති සංගම් පහක් තීරණය කර ඇත.

පළාත් මාරු මණ්ඩලයේ නිර්දේශ මත විදුහල්පතිවරුන් මෙලෙස ස්ථාන මාරු කිරීමට සැලසුම් කර තිබූ බවයි පැවසෙන්නේ.

ස්ථාන මාරු නිර්දේශ කිරීමේ පදනම වූයේ එකම පාසලේ වසර අටකට වැඩි කාලයක් සේවයකර තිබීම මතයි.

මේ අතරින් එකම පාසලේ වැඩිම සේවා කාලයක් සහිත විදුහල්පතිවරියන් සිටින්නේ කුලියාපිටිය කලාපයේය.

ගොඩකුරුගම පාසලේ විදුහල්පතිවරියගේ සේවා කාලය වසර විසිහතරක් වන අතර විශාඛා විදුහලේ විදුහල්පතිවරියගේ සේවා කාලය වසර දාහතක් බවයි පැවසෙන්නේ.

මෙම ස්ථාන මාරු සඳහා පළාත් අධ්‍යාපන බලධාරීන් එකඟතාව පළකර තිබුණේ ද ඊට අදාළව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව කර තිබූ නිර්දේශයක් හේතුවෙන්.

දීර්ඝ කාලයක් තිස්සේ එකම පාසලේ සේවය කරන විදුහල්පතිවරුන් ස්ථාන මාරු නොකිරීමට එරෙහිව ලංකා විදුහල්පති සංගමය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලිකර තිබූ අතර, ඒ සම්බන්ධයෙන් කළ පරීක්ෂණයෙන් පසු ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීමට නියෝග කරනු ලැබුණා.

ඉන් පසු පළාත් අධ්‍යාපන බලධාරීන්ගේ එකඟතාව මත මාරු මණ්ඩලයක් පිහිටුවන ලදි.

ලංකා විදුහල්පති සංගමය, ලංකා විදුහල්පති සේවා සංගමය, ශ්‍රේණිධාරී විදුහල්පති සංගමය, වෘත්තීයවේදී විදුහල්පති සංගමය සහ විදුහල්පති වෘත්තිකයන්ගේ සංගමය මෙම මාරු මණ්ඩලයේ සාමාජිකත්වය දැරීය.

ලංකා විදුහල්පති සංගමයේ ලේකම් පියසිරි ප්‍රනාන්දු මහතා පැවසුවේ, එලෙස නීත්‍යනුකූලව සකස් කළ ලේඛනය නතර කිරීම සම්පූර්ණයෙන්ම දේශපාලන අවශ්‍යතාවක් යැයි ද ඊට දැඩි විරෝධය පළ කරන බවයි.

ඊට එරෙහිව පළමු වැනිදා පවත්වන සත්‍යග්‍රහයට මාරු මණ්ඩලයට සහභාගි වූ විදුහල්පති සංගම් පහම එක්වන බවත් ලේකම්වරයා කියා සිටියා.