පිළිකා අවදානම 42%කින් අඩු කළ හැකි එන්නතක්
ප්රතිශක්තිකරණ ප්රතිකාරයක් සමඟ ඒකාබද්ධව ලබාදෙන පුද්ගලයාට විශේෂිත වූ සමේ පිළිකා එන්නතක් මඟින් මෙලනෝමා පිළිකාව යළි ඇතිවීමේ හෝ මරණයට පත්වීමේ අවදානම 42%කින් අඩු කළ හැකි බව ජාත්යන්තර සායනික අත්හදා බැලීමකින් අනාවරණය වී තිබේ.
මෙම ප්රතිඵලය පිළිකා ප්රතිකාර ක්ෂේත්රයේ වැදගත් ඉදිරි පියවරක් ලෙස සැලකෙන අතර, අත්හදා බැලීමට සහභාගී වූ රෝගියෙකු එය හැඳින්වූයේ විප්ලවීය ප්රතිකාර ක්රමයක් ලෙසය.
බ්රිතාන්යයේ නෝර්ත්හැම්ප්ටන්ෂයර් ප්රදේශයේ පදිංචි 75 හැවිරිදි ටෝනි චැප්මන් 2019 වසරේදී තුන්වන අදියරේ මෙලනෝමා පිළිකාවක් වැළඳී ඇති බව හඳුනා ගැනීමෙන් පසු මෙම සායනික අත්හදා බැලීමට එක්ව තිබේ. ඒ සඳහා ඔහු සහභාගී වූයේ ඇඩන්බෲක්ස් රෝහලේදීය.
මුලින්ම ඔහුගේ පපුවේ තිබූ පිළිකා ගෙඩිය ශල්යකර්මයකින් ඉවත් කර ඇති අතර, ඉන් වසර හතරකට පසුව කිහිල්ල ආශ්රිතව ගැටිත්තක් මතු වීම හේතුවෙන් වසා ගැටිති ඉවත් කිරීමේ තවත් ශල්යකර්මයකට මුහුණ දීමට ඔහුට සිදුවිය.
පුද්ගලීකරණය කළ mRNA එන්නතක්
ඉහළ අවදානමක් සහිත මෙලනෝමා රෝගීන් 1,000කට අධික පිරිසක් සම්බන්ධ කරගනිමින් මෙම තුන්වන අදියරේ සායනික අත්හදා බැලීම සිදු කර ඇත.
එහිදී Intismeran නම් පුද්ගලීකරණය කළ මැසෙන්ජර් ආර්.එන්.ඒ. (mRNA) එන්නත, Keytruda නමැති ප්රතිශක්තිකරණ ඖෂධය සමඟ ඒකාබද්ධව ලබාදීමේ ප්රතිඵල පරීක්ෂා කර තිබේ.
අත්හදා බැලීමේදී අනාවරණය වී ඇත්තේ, Keytruda ඖෂධය පමණක් ලබාදුන් රෝගීන්ට සාපේක්ෂව එන්නත සහ ඖෂධය ඒකාබද්ධව ලබාදුන් රෝගීන්ගේ පිළිකාව පැතිරීමේ හෝ නැවත ඇතිවීමේ අවදානම වසර දෙකක කාලය තුළ 38%කින් අඩු වූ බවයි. සමස්ත ප්රතිඵල අනුව, පිළිකාව නැවත ඇතිවීමේ හෝ මරණයට පත්වීමේ අවදානම 42%කින් අඩු වී ඇති බව ද වාර්තා වේ.
රෝගියාගේ පිළිකාවට ගැළපෙන පරිදි එන්නත සකස් කිරීම
ඇඩන්බෲක්ස් රෝහලේ උපදේශක පිළිකා රෝග විශේෂඥ වෛද්යවරියක සහ අත්හදා බැලීමේ ප්රධාන පර්යේෂකවරියක වන පිපා කොරි පැහැදිලි කර ඇත්තේ, එක් එක් රෝගියාගේ පිළිකා ගෙඩියේ ජානමය තොරතුරු විශ්ලේෂණය කිරීමෙන් මෙම එන්නත සකස් කරන බවයි.
ශල්යකර්මයකින් පසුව ශරීරයේ ඉතිරි විය හැකි පිළිකා සෛල හඳුනාගෙන ඒවාට එරෙහිව ක්රියා කිරීමට ප්රතිශක්තිකරණ පද්ධතිය පුහුණු කිරීම මෙම ප්රතිකාරයේ අරමුණ වේ. ඒ හරහා පිළිකාව නැවත ඇතිවීමේ අවදානම අඩු කිරීමට අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත්, මෙම අත්හදා බැලීම ද්විත්ව අන්ධ ක්රමවේදයක් යටතේ සිදුකර ඇති බැවින්, ටෝනි චැප්මන්ට සැබෑ එන්නත ලැබුණේද නැතහොත් ඖෂධීය ක්රියාකාරීත්වයක් නොමැති ප්ලැසීබෝ ද්රව්යය ලැබුණේද යන්න ඔහුට හෝ පර්යේෂකයන්ට දැනගත නොහැකිය.
චැප්මන් පසුගිය වසරේදී සිය ප්රතිකාර අවසන් කර ඇති අතර, මේ වන විටත් පිළිකාවෙන් තොරව ජීවත් වන බව සඳහන් වේ.