තිරිඟු පිටි මිල අත්තනෝමතිකව ඉහළ දැමීම ගැන විමර්ශනයක්
2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු අධිකාරිය පනත යටතේ අත්යවශ්ය භාණ්ඩයක් ලෙස ප්රකාශයට පත් කර ඇති තිරිඟු පිටිවල මිල, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පූර්ව දැනුම්දීමකින් තොරව අත්තනෝමතික ලෙස ඉහළ දැමීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
ඒ අනුව, අදාළ මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් ලබා දෙන ලෙස ඉල්ලා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඊයේ (22) තිරිඟු පිටි නිෂ්පාදන සමාගම් වෙත විශේෂ ලිපියක් යොමු කර ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ සමාගම් සමඟ සාකච්ඡා කර කරුණු විමසා බැලීම සඳහා වෙළෙඳ අමාත්ය වසන්ත සමරසිංහ මහතාගේ ප්රධානත්වයෙන් ඔක්තෝබර් 28 වැනිදා විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ද සැලසුම් කර තිබේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරන්නේ අදාළ පනත යටතේ නීතිවිරෝධී මිල ඉහළ දැමීම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට අවශ්ය බලතල තමන් සතු බවයි. ඒ අනුව, ඔක්තෝබර් 28 වැනිදා පැවැත්වෙන සාකච්ඡාවේදී අදාළ මිල සංශෝධනය පිළිබඳ පැහැදිලි කිරීම් ඉදිරිපත් කරන ලෙස සමාගම් වෙත දැනුම් දී ඇත.
මේ අතර, තිරිඟු පිටි මිල ඉහළ ගියද පිටි ආශ්රිත ආහාර නිෂ්පාදනවල මිල ඉහළ නොදමන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ. එම ඉල්ලීමට ප්රතිචාර දක්වමින් වත්මන් තත්ත්වය තුළ පිටි ආශ්රිත නිෂ්පාදනවල මිල ඉහළ නොදැමීමට එකඟතාව පළ කර ඇති බවද සඳහන් වේ.
තිරිඟු පිටි නිෂ්පාදන සමාගම් විසින් සිදුකර ඇති බව කියන නීතිවිරෝධී මිල ඉහළ දැමීමට එරෙහිව ඉදිරි නීතිමය ක්රියාමාර්ග ගැනීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නීතිපති දෙපාර්තමේන්තුවෙන් නීති උපදෙස් ඉල්ලා ඇත. අදාළ නීති උපදෙස් ලැබුණු වහාම සම්බන්ධිත සමාගම්වලට එරෙහිව සුදුසු නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැඩබලන අධ්යක්ෂ ජනරාල් සමන්ත කරුණාරත්න මහතා ප්රකාශ කළේය.