නාමල් රාජපක්ෂ බන්ධනාගාරගතව සිටියත් පොහොට්ටුවේ දේශපාලන ක්‍රියාකාරකම් අඛණ්ඩව ඉදිරියට - ශාන්ත බණ්ඩාර

SLPP K W Shantha Bandara Namal Rajapaksa Latest Headlines Sinhala news
By R.rishma Oct 23, 2026 01:36 PM GMT
Report

බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේදී සිකුරාදා (23) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ, පක්ෂයේ සංවිධාන කටයුතුවලට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිරගතව සිටීම කිසිදු බාධාවක් වී නොමැති බවයි.

නාමල් රාජපක්ෂ මහතා සිරගත වීම හේතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දුර්වල වී ඇති බවටත්, පක්ෂයේ සංවිධාන ව්‍යුහය බිඳවැටී ඇති බවටත් ඇතැම් පාර්ශ්වයන් සිතන්නේ නම් එය වැරදි අදහසක් බව ශාන්ත බණ්ඩාර මහතා සඳහන් කළේය.

නාමල් රාජපක්ෂ මහතා සිරගතව සිටියද පක්ෂයේ මහලේකම්වරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නායකයන් පක්ෂයේ ඉදිරි දේශපාලන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් සහ මඟපෙන්වීම් ලබා දෙමින් සිටින බවද ඔහු පැවසීය. ඒ අනුව, පක්ෂයේ දේශපාලන ක්‍රියාකාරකම් අඛණ්ඩව සිදු කෙරෙන අතර සාමාජික බඳවා ගැනීමේ කටයුතු ද වේගවත් කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

රජයේ අඩුපාඩු ජනතාව හමුවේ ඉස්මතු කරමින් පුළුල් දේශපාලන වැඩසටහන් මාලාවක් ලබන සතියේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවද ශාන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ ආසන මට්ටමේ රැස්වීම්, ඔහු නොමැතිව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන්ගේ ප්‍රධානත්වයෙන් ලබන සතියේ සිට දිවයින පුරා සියලුම මැතිවරණ කොට්ඨාස ආවරණය වන පරිදි පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවද ඔහු පැවසීය.

මේ අතර, අනුරාධපුරයේ පැවති ජනතා රැලියට සමානව දකුණු පළාත කේන්ද්‍ර කර ගනිමින් දැවැන්ත ජනතා රැලියක් පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සැලසුම් කර ඇති බවද ශාන්ත බණ්ඩාර මහතා අනාවරණය කළේය.

පක්ෂයේ ජාතික සංවිධායකවරයා සිරගතව සිටීම හේතුවෙන් පක්ෂය බිඳවැටී ඇතැයි නිගමනය කිරීම වැරදි බව අවධාරණය කළ ඔහු, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශක්තිමත් දේශපාලන පක්ෂයක් ලෙස තවදුරටත් ක්‍රියාත්මක වන බව සඳහන් කළේය.

පක්ෂයේ සියලු දේශපාලන වැඩසටහන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආශීර්වාදය සහ නාමල් රාජපක්ෂ මහතාගේ මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක වන බවත්, එම වැඩපිළිවෙළ හරහා ඉදිරි මැතිවරණවලදී පක්ෂයේ ජයග්‍රහණය තහවුරු කර ගැනීමට අපේක්ෂා කරන බවත් ශාන්ත බණ්ඩාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.