ජල නිෂ්පාදන පිරිවැය අඩු කිරීමට අවධානය යොමු නොකර ජල ගාස්තු ඉහළ දමා ඇති බවට විගණන අනාවරණයක්

Water Board Water Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Jul 20, 2026 06:20 AM GMT
Report

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පසුගිය වසරවල ජල නිෂ්පාදන පිරිවැය අවම කර ගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ ප්‍රමාණවත් අවධානයක් යොමු නොකර ජල ගාස්තු ඉහළ නැංවීමට පමණක් කටයුතු කර ඇති බව ජාතික විගණන කාර්යාලය සිදුකළ විශේෂ විගණනයකදී අනාවරණය වී තිබේ.

තෝරාගත් ජල පාරිභෝගික කාණ්ඩ සඳහා අසාමාන්‍ය ලෙස ජල බිල්පත් වැඩි කිරීමේ ක්‍රමවේදය වෙනුවට සාධාරණ පදනමක් මත ජල ගාස්තු සකස් කළ යුතු බවද විගණනය මගින් නිර්දේශ කර ඇත.

එමෙන්ම 2024 වසරේ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද ජල ගාස්තු ප්‍රතිපත්තිය සහ සූත්‍රය භාවිත කරමින් විනිවිදභාවයෙන් යුතුව නියමිත කාලසීමාවන් තුළ ජල ගාස්තු සමාලෝචනය කළ යුතු බවද විගණනය පෙන්වා දී තිබේ.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට පසුගිය වසරවල අඛණ්ඩව ඇතිවූ මෙහෙයුම් පාඩු සහ ණය ගෙවීම් ආවරණය කර ගැනීම සඳහා ජල ගාස්තු ඉහළ නැංවීම තෝරාගෙන ඇති බවද එම වාර්තාවේ සඳහන් වේ.

2022 සහ 2023 වසරවල සිදුකළ ජල ගාස්තු සංශෝධන හේතුවෙන් ගෘහස්ථ පාරිභෝගික කාණ්ඩයේ වැඩිම පාරිභෝගිකයින් පිරිසක් නියෝජනය කරන කාණ්ඩවල ජල බිල්පත් 2012 වසරේ පැවති අගයන්ට සාපේක්ෂව සියයට 70කින් සහ සියයට 100කින් ඉහළ ගොස් ඇති බවද විගණනය අනාවරණය කර ඇත.

මණ්ඩලයේ සේවක පිරිවැය ජල බිල්පත් කෙරෙහි සෘජු බලපෑමක් ඇති කරන අතර, එය සමස්ත මෙහෙයුම් පිරිවැයෙන් සියයට 36ක් පමණ වන බවද එම වාර්තාවේ සඳහන් වේ.

මීට අමතරව ජල ව්‍යාපෘති ප්‍රමාද වීම හේතුවෙන් නියමිත කාලය තුළ ජල සැපයුම් ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වීම, අපේක්ෂිත ආදායම් අහිමි වීම, ව්‍යාපෘති පිරිවැය ඉහළ යාම සහ බලශක්ති පිරිවැය අවම කිරීමේ ව්‍යාපෘති ප්‍රමාද වීමද ජල බිල්පත් ඉහළ යාමට බලපා ඇති බව විගණන වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.