කොංගෝවේ ඉබෝලා වසංගතය දරුණු වෙයි - තවත් රටවල් රැසකට පැතිරීමේ අවදානමක්
අප්රිකානු රටක් වන කොංගෝ ප්රජාතන්ත්රවාදී ජනරජයේ ඉබෝලා වෛරස් ව්යාප්තිය දැඩි ලෙස ඉහළ ගොස් ඇති අතර, මේ වන විට පුද්ගලයින් 5,000කට අධික පිරිසක් මියගොස් ඇති බව වාර්තා වනවා.
එමෙන්ම, ආසාදිතයින් සංඛ්යාව 10,000 ඉක්මවා ඇති අතර, ඉන් 2,000කට වැඩි පිරිසක් සුවය ලබා ඇති බව සඳහන්.
කොංගෝවේ පළාත් 26න් පළාත් 8කින් රෝගීන් හඳුනාගෙන ඇති අතර, ප්රතිකාර මධ්යස්ථානවලින් බැහැරව ද මරණ කිහිපයක් වාර්තා වී තිබෙනවා.
මැයි මස මැද භාගයේදී ආරම්භ වූ මෙම වසංගතය පාලනය කිරීමේ අභියෝගයක් බවට පත්ව ඇති අතර, මරණ සංඛ්යාව ද අඛණ්ඩව ඉහළ යමින් පවතින බවයි වාර්තා වන්නේ.
තත්ත්වය සැලකිල්ලට ගනිමින් ලෝක සෞඛ්ය සංවිධානය ජාත්යන්තර මහජන සෞඛ්ය හදිසි අවස්ථාවක් ප්රකාශයට පත් කර තිබෙනවා. මේ අතර, අමෙරිකාව ඇතුළු ඇතැම් රටවල් කොංගෝවෙන් පැමිණෙන සංචාරකයින් සම්බන්ධයෙන් සීමා පනවා ඇති බව ද සඳහන්.
මෙම වසංගතයට හේතු වී ඇති වෛරසය ඉබෝලා වෛරසයේ බුන්ඩිබුජියෝ (Bundibugyo) ප්රභේදයට අයත් බව වාර්තා වනවා. මේ සඳහා අනුමත නිශ්චිත ප්රතිවෛරස් ඖෂධයක් හෝ එන්නතක් නොමැති පසුබිමක, කොංගෝවේ වෛද්ය පරීක්ෂණ සහ රෝගීන් හඳුනාගැනීමේ කටයුතු තීව්ර කර තිබෙනවා. ආසාදිතයින් හඳුනාගෙන හුදකලා කර ප්රතිකාර ලබාදීමට ද පියවර ගෙන ඇති බව සඳහන්.
මේ අතර, වෛරසය කෙන්යාව සහ උගන්ඩාව දක්වා ද ව්යාප්ත වී ඇති බවට වාර්තා පළ වනවා. එමෙන්ම, උගන්ඩාවේ සිට නයිජීරියාවට ගමන් කළ කාන්තාවකගෙන් බුන්ඩිබුජියෝ වෛරස් ආසාදනයක් පළමු වරට හඳුනාගෙන ඇති බව ද වාර්තා වී තිබෙනවා. ලෝක සෞඛ්ය සංවිධානයට අනුව, අදාළ කාන්තාව නයිජීරියාවට පැමිණීමෙන් පසු හත්වැනි දිනයේදී රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති අතර, අඛණ්ඩ නිරීක්ෂණයෙන් පසු 17 වැනි දිනයේදී ආසාදනය තහවුරු කර තිබෙනවා.
ඒ අනුව, මෙම ආසාදනයෙන් බලපෑමට ලක්වූ සිව්වැනි රට බවට නයිජීරියාව පත්ව ඇති බවයි අදාළ වාර්තාවල දැක්වෙන්නේ.
මීට පෙර 2014 සිට 2016 දක්වා ගිනියාව, ලයිබීරියාව සහ සියරා ලියොන් යන බටහිර අප්රිකානු රටවල පැතිර ගිය ඉබෝලා වසංගතයෙන් පුද්ගලයින් 28,600කට ආසන්න පිරිසක් ආසාදනය වූ අතර, 11,000කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වුණා. ඉබෝලා වෛරසය ලොව බරපතළ බෝවන රෝග අතරට අයත් වන අතර, එමගින් අභ්යන්තර අවයවවලට හානි සිදුවීම, රුධිර වහනය සහ අවයව අක්රිය වීම වැනි බරපතළ සංකූලතා ඇති විය හැකියි.
මේ අතර, කොංගෝවේ අසල්වැසි රාජ්යයක් වන දකුණු සුඩානය ඇතුළු තවත් රටවලට ද වෛරසය ව්යාප්ත වීමේ අවදානමක් පවතින බවට සෞඛ්ය අංශ තුළ අවධානය යොමුව තිබෙනවා.
නැගෙනහිර අප්රිකාවේ සිට බටහිර අප්රිකාව දක්වා වෛරසය පැතිර යන බවට පළවන වාර්තාත් සමඟ ජාත්යන්තර සෞඛ්ය බලධාරීන්ගේ අවධානය මේ පිළිබඳව තවදුරටත් යොමුව ඇති අතර, ලොව පුරා රටවලට දැඩි අවධානයෙන් පසුවීමේ අවශ්යතාව ද අවධාරණය කර තිබෙනවා.