තෙල් බවුසරයකට ජලය මිශ්‍ර වී තිබීම ගැන සංස්ථාවෙන් විශේෂ නිවේදනයක්..!

Ceylon Petroleum Corporation Minister of Energy and Power Kanchana Wijesekera Sri Lanka Fuel Crisis
By Sewvandhi Oct 19, 2022 04:59 PM GMT
Report

කොළඹ ප්‍රදේශයේ පිරවුම්හලක් වෙත ඉන්ධන රැගෙන ගිය ටැංකි රථයක ජලය මිශ්‍ර වී පැවතීම සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. මෙම සිද්ධිය පිළිබඳ පූර්ණ විමර්ශනයක් සිදු කරන ලෙසට අමාත්‍ය කංචන විජේසේකර විසින් සංස්ථා පාලනාධිකාරියට උපදෙස් ලබාදී ඇති අතර එම විමර්ශන කටයුතු රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානකගේ අධීක්ෂණය යටතේයි සිදු කරනු ලබන්නේ.

මෙම සිද්ධියට අදාළ ටැංකි රථයට ඉන්ධන පිරවීමට කටයුතු කරන ලද කොලොන්නාව නිමාවේ පිහිටි ප්‍රධාන ටැංකියට අදාළ ඉන්ධන තොග නෞකාවලින් ලබාගැනීමේදී අනුමත ක්‍රමවේද අනුව කටයුතු කර ඇති බවට අනාවරණ වී ඇතැයි සංස්ථාව ප්‍රකාශ කළා. ප්‍රධාන ටැංකිවලට නෞකාවලින් ඉන්ධන ලබා ගැනීමේදී ජලය යම් ප්‍රමාණයක් එකී ටැංකි තුලට රැස්වන අතර එම ජලය නිසි ක්‍රමවේදවලට අනුව ඉවත් කිරීමට කටයුතු කරනු ලබනවා.

අනතුරුව අදාළ සාම්පල් රසායනාගාර පරීක්ෂණවලට ලක් කිරීමට කටයුතු කරනු ලබන අතර එකී ඉන්ධන නියමිත ප්‍රමිතියට අනුකූල බව තහවුරු වන්නේ නම් පමණක් පාරිභෝගිකයාට නිකුත් කිරිම සිදුකරන බවයි ඛනිජ තෙල් සංස්ථාව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. කෙසේවෙතත් ටැංකි රථවලට ඉන්ධන පිරවීම සඳහා ඇති නල මාර්ගවල අධික වර්ෂාව හේතුවෙන් යම් ජල ප්‍රමාණයක් රැස්වීමට ඉඩකඩ පවතින බව ද ඔවුන් පෙන්වා දෙනවා.

එවැනි අවස්ථාවලද ීඑම ටැංකි රථ ගබඩාවෙන් පිටත්වීමට පෙර නැවත පරීක්ෂා කර බැලීමක් සිදුවන අතර එවැනි අවස්ථාවක ජලය අන්තර්ගත බවට තහවුරු වන්නේ නම් එම ජලය ඉවත් කිරීමට කටයුතු කරනු ලබනවා. යම් හෙයකින් එම අවස්ථාවේදී කිසියම් මගහැරීමක් සිදුවී එම තොගය ඉන්ධන පිරවුම්හල් වෙත නිකුත්කර තිබේ නම් අවසාන පාරිභෝගිකයා සුරක්ෂිත කිරීම සඳහා පිරවුම්හල් වෙත ඉන්ධන බෑමට ප්‍රථම ටැංකි රථයේ ඉන්ධන නියැදි ලබාගැනීම අනිවාර්යය කර තිබෙනවා.

එහිදී අදාළ ටැංකි රථය මගින් ප්‍රවාහනය කරන ලද ඉන්ධන සමග ජලය මිශ්‍ර වී ඇති බව තහවුරු වුවහොත් එම තොගය නිකුත් කරන ලද ගබඩාව තෙ නැවත රැගෙන ඒමත් එකී ඉන්ධනවල ප්‍රමිතිය පිළිබඳ රසායානාගාරවල පූර්ණ පරීක්ෂාවක් සිදු කිරීමත් අනිවාර්යය වනවා.

සංස්ථාව ප්‍රකාශ කළේ පාරිභෝගික ජනතාව වෙත කිසිදු අයුරකින් ජලය මිශ්‍රිත ඉන්ධන තොග ලැබීමට ඉඩකඩ නොමැති අතර නිසි ප්‍රමිතියෙන් යුතු ඉන්ධන සැමවිටම ලබාදීමට කටයුතු කරන බවයි. මෙම සිදුවීමේදී අදාළ ඉන්ධන පිරවුම්හල් හිමිකරු සහ එම කාර්ය මණ්ඩලය ඉතා වගකීමෙන් යුතුව සංස්ථාවේ නීති රීති හා ක්‍රියා පටිපාටිය අනුව කටයුතු කර ඇති බවයි ඛනිජතෙල් නීතිගත සංස්ථාව කියාසිටියේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now