වසන්ත සහ සිරිධම්ම හිමියන් රඳවා ගැනීම ගැන, මානව හිමිකම් කොමිසමෙන් විශේෂ නිවේදනයක්..!

Human Rights Commission Of Sri Lanka Sri Lanka
By Sewvandhi Oct 27, 2022 08:04 AM GMT
Report

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ (අවිශිබම) කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ (IUBF) කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (PTA) යටතේ අත්අඩංගුවට ගැනීම, දින 90ක කාලයක් සඳහා රඳවා තබා ගැනීම නීත්‍යානුකූල සහ සාධාරණ නො වන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසනවා.

මේ දෙදෙනා 2022 අගෝස්තු 01 දින සහ 8 වැනි දින සිට අද දක්වා කිසිදු සාධාරණ හේතු දැක්වීමකින් තොර ව රඳවා තබා ගෙන සිටින බව යි මානව හිමිකම් කොමිෂන් සභාව අවධාරණය කරන්නේ.

මානව හිමිකම් කොමිෂන් සභා (HRCSL) අධ්‍යක්ෂවරයෙකු සහ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු පසුගිය 25 වන දින මෙම රැඳවියන්ගේ සුවදුක් විමසා බැලීම සඳහා ඔවුන් බැලීමට ගොස් ඇති අතර, එහි දී ගල්වැව සිරිධම්ම හිමියන්ගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය දැක උන්වහන්සේ රෝහල්ගත කරන ලෙස උපදෙස් දුන් බවත් ඔක්තෝබර් 25 වැනි දින රෝහල්ගත කළ උන්වහන්සේ වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට තරම් බරපතළ වූ බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

සංශෝධිත 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ (PTA) 9 (l) වගන්තිය යටතේ, කිසියම් පුද්ගලයෙකු කිසියම් නීති විරෝධී ක්‍රියාවකට සම්බන්ධ වී හෝ ඒ පිළිබඳ සැලකිලිමත් වන බවට විෂය භාර අමාත්‍යවරයාට විශ්වාස කිරීමට හෝ සැක කිරීමට හේතු තිබේ නම්, අදාල අත්අඩංගුවට ගැනීම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිදු කරන ලෙස අමාත්‍යවරයාට නියෝග කළ හැකියි.

එවැනි තැනැත්තෙකු පළමු අවස්ථාවේ දී අමාත්‍යවරයා විසින් තීරණය කරනු ලබන ස්ථානයක සහ කොන්දේසිවලට යටත්ව මාස තුනකට නොවැඩි කාලයක් රඳවා තබා ගැනීමේ හැකියාවද පවතිනවා.

තවද, රැඳවියන් තමන් බැලීමට පැමිණි මානව හිමිකම් කොමිෂන් සභා අධ්‍යක්ෂ සහ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාට දන්වා සිටියේ පසුගිය කාලයේ රට තුළ ඇති වූ සිවිල් නොසන්සුන්තාවයට තමන් සම්බන්ධ බවට චෝදනා නඟමින් රඳවාගෙන ඇති අතරම මෙම කාලය තුළ තමන්ගෙන් ප්‍රශ්න කර ඇත්තේ ද අවස්ථා කිහිපයකදී පමණක් බව යි.

රැඳවියන් අඛණ්ඩව සිරගත කිරීම සහ හිරිහැර කිරීම ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1 වගන්තිය යටතේ ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් වන හෙයින් වසන්ත මුදලිගේ සහ පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමිට එරෙහිව නිකුත් කර ඇති රැඳවුම් නියෝගය දීර්ඝ නොකරන ලෙස මානව හිමිකම් කොමිසම මෙම නිවේදනය හරහා නිර්දේශ කරනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now