අරවින්ද ද සිල්වා සහ බිරිඳට වරෙන්තු

Law and Order Latest Headlines Sinhala news Arrest Kapila Chandrasena
By R.rishma Sep 16, 2026 07:27 AM GMT
Report

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතා සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංගි අනුෂ්කා විජේනායක මහත්මිය අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (16) වරෙන්තු නිකුත් කර තිබෙනවා.

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වන ප්‍රියංකා නයෝමාලි විජේනායක මහත්මියට අදාළව පැවැත්වෙන නඩු කටයුත්තේදී අරවින්ද ද සිල්වා මහතා සහ ඔහුගේ බිරිඳ ඇපකරුවන් ලෙස පෙනී සිට තිබෙනවා.

කෙසේ වෙතත්, අදාළ නඩු කටයුත්ත සඳහා අධිකරණය හමුවේ පෙනී සිටීමට ඔවුන් අපොහොසත් වීම හේතුවෙන් මෙලෙස වරෙන්තු නිකුත් කර ඇති බව සඳහන්.

මේ අතර, අරවින්ද ද සිල්වා මහතාගේ මව වන රාණි ද සිල්වා මහත්මිය පසුගිය 14 වැනිදා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඇයගේ අවසන් කටයුතු සහ ආදාහන පූජෝත්සවය අද (16) සිදුකිරීමට නියමිතව තිබූ අතර, එම අවස්ථාවට සහභාගී වීම හේතුවෙන් අරවින්ද ද සිල්වා මහතාට අධිකරණය හමුවේ පෙනී සිටීමට නොහැකි වූ බව වාර්තා වනවා.

මීට පෙර, කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වන ප්‍රියංකා නයෝමාලි විජේනායක මහත්මියට එරෙහිව විවෘත වරෙන්තුවක් නිකුත් කිරීමටද කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණා. එම අවස්ථාවේදී ඇය වෙනුවෙන් ඇපකරුවන් ලෙස පෙනී සිටි අරවින්ද ද සිල්වා මහතා සහ ඔහුගේ බිරිඳ එම ඇපකාරිත්වයෙන් නිදහස් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා තිබූ බවද වාර්තා වී තිබෙනවා.