තේ වගාකරුවන්ට රුපියල් ලක්ෂ 10ක රක්ෂණයක් - අලුත් රක්ෂණ ක්‍රමය මෙන්න

Sri lanka tea Latest Headlines Sinhala news Puwath.lk Tea Estate Workers
By R.rishma Oct 29, 2026 08:06 AM GMT
Report

තේ පැළ තවාන් සහ තේ වගාවන් සඳහා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් නව රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දී තිබේ.

මෙම රක්ෂණ ක්‍රමය මඟින් ගංවතුර, නියඟය සහ නායයෑම් වැනි ස්වාභාවික විපත් මෙන්ම පාලනය කළ නොහැකි රෝග හා කෘමි උවදුරු හේතුවෙන් තේ පැළ තවාන් සහ තේ වගාවන්ට සිදුවන හානි සඳහා රක්ෂණ ප්‍රතිලාභ ලබාගැනීමට අවස්ථාව හිමි වේ.

මෙම රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ ප්‍රතිලාභ ලබාගත හැක්කේ කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී ඇති හෝ ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි කර ඇති, තේ පර්යේෂණ ආයතනයේ නිර්දේශයන්ට අනුව පවත්වාගෙන යනු ලබන තේ පැළ තවාන් සහ තේ වගාවන් සඳහා පමණි.

තේ පැළ තවාන් සඳහා මෙම රක්ෂණ ක්‍රමය යටතේ එක් පැළයක් වෙනුවෙන් වාර්ෂික රක්ෂිත මුදල රුපියල් 35ක් ලෙස නියම කර තිබේ. එමෙන්ම, තේ වගාවන් සඳහා ද විශේෂ රක්ෂණ ආවරණයක් ලබාදීමට කටයුතු කර ඇති අතර, අලුතින් තේ පැළ සිටුවීමෙන් පසු දළු නෙළීම ආරම්භ කරන තෙක් වූ උපරිම වසර හතරක කාලසීමාව සඳහා මෙම පහසුකම හිමි වේ.

එහිදී උපරිම අක්කරයක භූමි ප්‍රමාණයක් සඳහා රුපියල් 1,000,000ක් හෙවත් රුපියල් ලක්ෂ 10ක් දක්වා රක්ෂණ ආවරණයක් ලබාගත හැකි වීම විශේෂත්වයකි.

තේ පැළ තවාන් සහ තේ වගාවන් සඳහා අදාළ වාර්ෂික රක්ෂණ වාරිකය රක්ෂිත මුදලින් සියයට 6ක් ලෙස නියම කර තිබේ. මෙම රක්ෂණ ක්‍රමය පිළිබඳ වැඩිදුර තොරතුරු කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ දිස්ත්‍රික් කාර්යාලවලින් ලබාගත හැකිය. එසේම, 1918 ක්ෂණික දුරකථන අංකය ඇමතීමෙන් ද අදාළ තොරතුරු ලබාගැනීමට හැකියාව පවතී.