අද තරගය අතරේ ඉන්දියාවෙන් සුපිරි ලෝක වාර්තාවක්..

Virat Kohli
By Aruna Nov 15, 2023 12:13 PM GMT
Report

ජාත්‍යන්තරය එක්දින පිටියේ ශතක ලාභීන් අතර පෙරමුණ ගන්නට ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි අද (15) සමත් වී තිබෙනවා.

ඒ, සිය 50 වන ජාත්‍යන්තර එක්දින ශතකය වාර්තා කරමින් වීම විශේෂත්වයක්.

කෝලි මෙම ශතකය රැස් කළේ, ලෝක කුසලාන එක්දින තරගාවලියේ නවසීලන්තයට එරෙහිව මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයේ දී වීම තවත් විශේෂත්වයක්.

කෝලි සිය ශතක 50 සම්පූර්ණ කළේ, ඉනිම් 279කින් වූ අතර, සචින් ටෙන්දුල්කාර්ට ඒ සඳහා ඉනිම් 452ක් ක්‍රීඩා කිරීමට සිදු වුණා.

විරාට් කෝලි සිය ශතකය පන්දු 108කින් සම්පූර්ණ කළ අතර, අද තරගයේ කෝලී පන්දු 113 කදී ලකුණු 117ක් ලබා ගැනීමට සමත් වුණා.

ඊට හතරේ පහර 09ක් සහ එක් 06 පහරක් අන්තර්ගත විය.

කෝලි මීට පෙර එක්දින ශතක 49ක් රැස්කරගෙන එක්දින පිටියේ වැඩිම ශතක ලාභීන් අතර සචින් තෙන්ඩුල්කාර් සමග සමතැන ගෙන සිටියා.

තම 291 වන ජාත්‍යන්තර එක්දින තරගයට විරාට් කෝලි අද ක්‍රීඩා කරයි.

කෝලිගේ ශතක රැස්කිරීමේ ලැයිස්තුව පහතින්,

ශ්‍රී ලංකාවට එරෙහිව ශතක – 10

බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ශතක – 9

ඕස්ට්‍රේලියාවට එරෙහිව ශතක – 8

නවසීලන්තයට එරෙහිව ශතක – 6

බංග්ලාදේශයට එරෙහිව ශතක – 5

දකුණු අප්‍රිකාවට එරෙහිව ශතක – 5

එංගලන්තයට එරෙහිව ශතක – 3

පාකිස්ථානයට එරෙහිව ශතක – 3

සිම්බාබ්වේ ට එරෙහිව ශතක – 1 

මේ අනුව නවසීලන්තයට එරෙහිව පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 397ක් ලබා ගැනීමට සමත් වුණා.