ශ්‍රී ලංකාවට මිරිස් අපනයනය නවත්වන්න ඉන්දියාවෙන් තීරණයක්

Food Shortages Red Chilli India Price Sinhala news
By R.rishma Oct 29, 2026 07:24 AM GMT
Report

ශ්‍රී ලංකා වරායවල රඳවාගෙන ඇති ඉන්දීය වියළි රතු මිරිස් තොග නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු හේතුවෙන්, යළි දැනුම් දෙනතුරු ශ්‍රී ලංකාවට වියළි රතු මිරිස් අපනයනය තාවකාලිකව නතර කරන ලෙස ඉන්දියානු මිරිස් අපනයනකරුවන්ගේ සංගමය (Chillies Exporters Association India) සිය සාමාජිකයන්ට දැනුම් දී ඇති බවට වාර්තා පළ වේ.

එමෙන්ම, පවතින ගිවිසුම්ගත බැඳීම්වලට යටත්ව, අත්හිටුවීම ක්‍රියාත්මක වන කාලය තුළ ශ්‍රී ලංකාව සමඟ නව අපනයන ගිවිසුම්වලට එළැඹීමෙන් වැළකී සිටින ලෙස ද සංගමය දැනුම් දී ඇති බව සඳහන් වේ.

ඉන්දීය වියළි රතු මිරිස් වෙළෙඳාමට බලපා ඇති ගැටලු විසඳීම සහ අපනයනකරුවන්ගේ, වෙළෙඳුන්ගේ හා අනෙකුත් පාර්ශ්වකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම අරමුණු කර ගනිමින් මෙම තීරණය ගෙන ඇති බවට අදාළ නිවේදනයේ සඳහන් වන බව වාර්තා වේ.

වරායවල රඳවා ඇති මිරිස් තොග නිදහස් කර ගැනීමට රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීමක්

ශ්‍රී ලංකා වරායවල රඳවාගෙන ඇති ඉන්දීය වියළි මිරිස් තොග කඩිනමින් නිදහස් කර ගැනීම සඳහා ඉහළ මට්ටමේ රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීමක් සිදු කරන ලෙස ඉන්දියානු මිරිස් අපනයනකරුවන්ගේ සංගමය ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලාවු ක්‍රිෂ්ණ දේවරායුලු මහතා වෙත ලිපියක් යොමු කර ඇති බව ද වාර්තා වේ.   

ශ්‍රී ලංකාවට අපනයනය කරන වියළි රතු මිරිස් තොග දිගින් දිගටම වරාය පරිශ්‍රවල පරීක්ෂණ සඳහා රඳවා තැබීම හේතුවෙන් අපනයනකරුවන් දැඩි මූල්‍ය දුෂ්කරතාවලට මුහුණ දී සිටින බව එම ලිපියෙන් පෙන්වා දී ඇතැයි සඳහන් වේ.

භාණ්ඩ සඳහා ආයෝජනය කළ ප්‍රාග්ධනය දිගුකාලීනව සිරවීම, නිෂ්පාදනවල ගුණාත්මකභාවය අඩුවීම සහ වරායවල රඳවා තැබීමේ ගාස්තු ඉහළ යාම එම ගැටලු අතර ප්‍රධාන වේ. එක් මිරිස් නැව්ගත කිරීමක් සඳහා රුපියල් ලක්ෂ 40කට වැඩි මුදලක් වැය වන බව ද අදාළ ලිපියේ සඳහන් කර ඇති බව වාර්තා වේ.

තෙතමනය පිළිබඳ පරීක්ෂණ ගැටලුවක්

තෙතමනය සම්බන්ධයෙන් මතුව ඇති නිරීක්ෂණ හේතුවෙන් වියළි මිරිස් තොග දින 60කට වැඩි කාලයක් ශ්‍රී ලංකා වරාය පරිශ්‍රවල රඳවාගෙන ඇති බව ඉන්දීය අපනයනකරුවන්ගේ සංගමය පෙන්වා දෙන බව සඳහන් වේ.

වියළි මිරිස් ස්වභාවයෙන්ම ආර්ද්‍රතාව අවශෝෂණය කරන බැවින් ප්‍රවාහනයේදී සහ දිගුකාලීනව ගබඩා කර තැබීමේදී පවතින පාරිසරික තත්ත්වයන් මත ඒවායේ තෙතමනය වෙනස් විය හැකි බව ද සංගමය පෙන්වා දී ඇතැයි වාර්තා වේ.

එමෙන්ම, තෙතමනය සහ ඇෆ්ලාටොක්සින් (Aflatoxin) යනු එකිනෙකට වෙනස් පරාමිතීන් දෙකක් බැවින් ඒවා වෙන වෙනම තක්සේරු කළ යුතු බව ද එම ලිපියේ සඳහන් කර ඇති බව පැවසේ.

ශ්‍රී ලංකා රජය විසින් බලය පවරන ලද රසායනාගාර සහ ඉන්දියානු කුළුබඩු මණ්ඩලය (Spices Board of India) අදාළ මිරිස් තොග පරීක්ෂාවට ලක් කර ඇති බවත්, එවැනි පරීක්ෂණ වාර්තා තිබියදීත් තොග අඛණ්ඩව රඳවා තබා ගැනීම ගැටලුවක් වී ඇති බවත් සංගමය සඳහන් කරන බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් චෙන්නායිහි පිහිටි ඉන්දියානු කුළුබඩු මණ්ඩලය ද සාකච්ඡා ආරම්භ කර ඇති බව සඳහන් වේ.  

තෙතමන සීමාව 13% දක්වා ඉහළ නංවන ලෙස ඉල්ලීමක්

මේ අතර, මෙරට ආනයනකරුවන් ද ආනයනික වියළි මිරිස් සම්බන්ධයෙන් පවතින ගැටලුව පිළිබඳව අවධානය යොමු කරමින්, දැනට ක්‍රියාත්මක වන 12%ක තෙතමන සීමාව 13% දක්වා සංශෝධනය කළ යුතු බවට යෝජනා කර ඇති බව වාර්තා වේ. දේශගුණික තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් මෙම සංශෝධනය සිදු කළ යුතු බව ආනයනකරුවන්ගේ අදහස වී තිබේ. මෙම ගැටලුව ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන අනෙකුත් කුළුබඩු වර්ගවලට ද බලපාන බවත්, ඒ සම්බන්ධයෙන් ඉන්දීය අපනයනකරුවන් සහ ඉන්දියානු කුළුබඩු මණ්ඩලය දැනුවත් කර ඇති බවත් දේශීය ආනයනකරුවන් පවසන බව සඳහන් වේ.

බහලුම් 40කට වැඩි ප්‍රමාණයක් රේගුවේ සිරවෙලා

ආනයනික මිරිස් තොගවල රසායනාගාර පරීක්ෂණ කටයුතු ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) මගින් සිදු කළ ද, අවසාන නිෂ්කාශනය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පරීක්ෂණ අංශය යටතේ සිදු වන බැවින් ක්‍රියාවලියේ ප්‍රමාදයන් ඇති වන බවට ද ආනයනකරුවන් චෝදනා කරති. ඒ අනුව, ආනයනික වියළි මිරිස් සහ අනෙකුත් කුළුබඩු පරීක්ෂා කිරීමේ සිට නිදහස් කිරීම දක්වා වූ ක්‍රියාවලිය තනි, ඒකාබද්ධ අධිකාරියක් යටතේ ක්‍රියාත්මක කළ යුතු බවට යෝජනාවක් ද ඉදිරිපත් වී ඇති බව වාර්තා වේ.

ආනයනකරුවන් පවසන පරිදි, මුල් නැව්ගත කිරීම් 65කට අදාළව බහලුම් 40කට වැඩි ප්‍රමාණයක පරීක්ෂණ ප්‍රමාද වීම හේතුවෙන් ඒවා මාස දෙකහමාරකට අධික කාලයක් රේගුවේ රඳවා තබා ඇත. එක් බහලුමක් සඳහා රුපියල් මිලියන 17කට ආසන්න මුදලක් ආයෝජනය කර ඇති බැවින් මෙම ප්‍රමාදයන් තමන් දැඩි මූල්‍ය අර්බුදයකට ඇද දමා ඇති බව ද ආනයනකරුවන් සඳහන් කරන බව වාර්තා වේ.

මිරිස් කුඩු මිල ඉහළ යාමේ අවදානමක්

ආනයනික වියළි මිරිස් තොග වෙළෙඳපොළට නිකුත් කිරීම දිගින් දිගටම ප්‍රමාද වීම හේතුවෙන් මෙරට මිරිස් කුඩු නිෂ්පාදන කර්මාන්තයට ද බලපෑම් එල්ල වෙමින් පවතින බව ආනයනකරුවෝ පෙන්වා දෙති.

නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හිඟ වීම හේතුවෙන් මිරිස් කුඩු සහ අනෙකුත් කුළුබඩු නිෂ්පාදකයන්ට ගැටලු මතුවිය හැකි බව ඔවුහු පවසති. එමෙන්ම, ඉන්දියාවෙන් වියළි මිරිස් ආනයනය සම්පූර්ණයෙන්ම නතර කිරීමට සිදුවුවහොත් දේශීය වෙළෙඳපොළේ මිරිස් සහ මිරිස් කුඩු මිල ඉහළ යාමේ අවදානමක් පවතින බවට ද ආනයනකරුවන් අනතුරු අඟවා ඇති බව වාර්තා වේ.

ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ අපනයනකරුවන් සහ ගොවීන් විශාල පිරිසක් ශ්‍රී ලංකාව සමඟ කෘෂිකාර්මික වෙළෙඳාම මත රඳා පවතින බැවින්, දෙරට අතර වෙළෙඳ සබඳතාවලට තවදුරටත් බලපෑම් ඇතිවීම වැළැක්වීම සඳහා කඩිනම් විසඳුමක් අවශ්‍ය බව ඉන්දියානු මිරිස් අපනයනකරුවන්ගේ සංගමය පෙන්වා දෙන බව සඳහන් වේ.