හොඳම කීඩකයා ලෙස කෝලි කිරුළු දරයි..! යෝජනා වී තිබූ ක්‍රීඩකයින් මෙන්න..

Virat Kohli Cricket Indian Cricket Team
By Sewvandhi Nov 07, 2022 11:51 AM GMT
Report

ICC (ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය) විසින් ඔක්තෝබර් මාසයේ හොඳම ක්‍රීඩකයා ලෙස ඉන්දීය ක්‍රීඩක විරාට් කෝලි නම්කර තිබේ. 

මේ සඳහා තවත් ක්‍රීඩකයින් දෙදෙනෙකු යෝජනා වී තිබුණි. ඒ සිම්බාබ්වේ කණ්ඩායමේ සිකන්දර් රාසා සහ දකුණු අප්‍රිකාවේ ඩේවිඩ් මිලර්ය.

කෙසේ වෙතත් විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී විරාත් කෝලි නැවතත් සිය සුපුරුදු ප්‍රහාරාත්මක රිද්මයට පැමිණීමත් සමඟ ඔහු ඔක්තෝබර් මාසයේ හොඳම ක්‍රීඩකයා ලෙස නම්කිරීමට ICCය තීරණය කර තිබේ. මෙය තමාට ගෞරවයක් බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය සුපිරි ක්‍රීඩක විරාත් කෝලි ප්‍රකාශ කර ඇත.

එසේම තමන් ඉදිරියේදී තම උපරිම දක්ෂතාවයෙන් කණ්ඩායමට සිය සහයෝගය ලබාදෙන බවද කෝලි වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

මේ අතර ඉන්දියාව සමග පැවැති තරගයකින් තම කණ්ඩායම පරාජය වීමට පිටියේ සිටි විනිසුරුවන් සහ විරාත් කෝලි වගකිවයුතු බව බංග්ලාදේශ කණ්ඩායමේ උප නායක නුරුල් හසන් චෝදනා කිරීමේ සිද්ධිය මේ වනවිට ක්‍රිකට් ලෝකයේ දැඩි ආන්දෝලනයකට ලක්ව තිබේ.

නුරුල් හසන් පවසා සිටියේ පසුගිය 02 වනදා ඉන්දියාවට එරෙහි පැවති තරගයේදී බංග්ලාදේශ ඉනිමේ 07වැනි පන්දුවාරයේ විරාත් කෝලි සිදුකළ ව්‍යාජ පන්දුරැකීම පිළිබඳ විනිසුරුවන් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම බරපතළ වරදක් බවය.

ලිටන් ඩාස් විසින් ඩීප් පොයින්ට් කලාපයට පහරක් එල්ල කරමින් ලකුණු 2ක් සම්පූර්ණ කරගනිද්දී හතරේ සීමාව ආසන්නයේ පන්දු රකිමින් සිටි ආර්ෂ්දීප් සිං පන්දුව රැකගෙන කඩුලු රකින්නා වෙත යොමු කළේය. ආර්ෂ්දීප් සිං පන්දුව යොමුකරන අතරතුර පොයින්ට් කලාපයේ පන්දු රකිමින් සිටි විරාත් කෝලි පන්දු රකින්නාගේ අන්තයට පන්දුව යොමුකරන ආකාරයට රඟපෑමක් සිදු කළේය.

ක්‍රීඩකයින් මුලා කරමින් ව්‍යාජ පන්දුරැකීමේ ඉරියව්වක නිරතවීම ක්‍රිකට් නීතිපොතේ 41.5 වගන්තියට අනුව වරදක් වන අතර එවන් වරදකදී පන්දුවට පහරදෙන කණ්ඩායමට දඬුවම් ලකුණු 5ක් ලබාදීමට විනිසුරුවන්ට හැකියාව තිබේ. විරාත් කෝලි සිදුකළ එම වරදට එරෙහිව දඬුවම් ලකුණු 5ක් ලබාදුන්නේ නම් බංග්ලාදේශයට තරගය සමකිරීමට හෝ තරගය ජයගැනීමට අවස්ථාවක් තිබූ බවට නුරුල් හසන් පෙන්වා දී තිබුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now