පාපන්දු තරගයෙන් පසු ඇතිවුනු බිහිසුණු ප්‍රචණ්ඩත්වය - 174කට දිවි අහිමිකරයි - එම අවස්ථාවේ දර්ශන සහිතයි..(VIDEO)

Football Indonesia
By Sewvandhi Oct 02, 2022 03:17 PM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

ඉන්දුනීසියාවේ පාපන්දු තරගයක් අවසානයේ ඇතිවූ ගැටුමකින් අනතුරුව සිදුවූ තෙරපීමකින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 174 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. ඉන් තුවාල ලැබූ පිරිස 180කට අධික බව විදෙස් වාර්තා පෙන්වා දෙයි. ඉන්දුනීසියාවේ මලන්ග් නගරයේ පැවැති පාපන්දු තරගයක් අතරතුර එම ගැටුම හටගෙන තිබුණි.

කලහකාරීව හැසිරුණු ආධාරකරුවන් 3,000ක් පමණ පිටියට කඩාවැදී ගැටුම් ඇති කර ඇත්තේ ඔවුන් සහාය පළ කළ පාපන්දු කණ්ඩායම පරාජයට පත්වීමත් සමගය. පසුව ඔවුන්ගෙන් ඇතැමෙක් ක්‍රීඩාංගණයෙන් පිටතට ගොස් මෝටර් රථ පවා ගිනි තබා තිබේ.

පොලීසිය මැදිහත්වී, අඛණ්ඩ කඳුලු ගෑස් ප්‍රහාර එල්ලකර, පිරිස පළවා හැරීමට කටයුතු කර ඇත්තේ ඉන් අනතුරුවය. පසුව පාපන්දු ක්‍රීඩාංගණයෙන් පිරිස පළායාම ආරම්භ කළ අතර, එහිදී ඇතිවු තෙරපීමෙන්, පෑගීමෙන් හා ශ්වසන අපහසුතා හේතුවෙන් පිරිස මියගොස් ඇති බව වාර්තා වේ.

පුද්ගලයින් 34දෙනෙක් ඒ මොහොතේදීම මියගොස් ඇති අතර, අනෙක් පිරිස මියගොස් තිබුණේ රෝහලේ දී ය. මියගිය පිරිස අතරට පොලිස් නිලධාරීන් දෙදෙනෙකුද අයත් වේ. ඉන්දුනීසියානු මාධ්‍ය වාර්තා කළේ පාපන්දු තරගය නැරඹීමට ක්‍රීඩාගාරයේ ධාරිතාව ඉක්මවා විශාල පිරිසක් පැමිණ සිටි බවය.

ඒ අනුව, 38,000කට රැඳී සිටිය හැකි ක්‍රීඩාගාරය තුළ 42,000ක පිරිසක් සඳහා ප්‍රවේශපත් අලෙවිකර තිබූ බවද මාධ්‍ය වාර්තාවන්හි දැක්වේ. සිද්ධිය සම්බන්ධ විමර්ශන අවසන් වනතුරු රට තුළ සියලු ප්‍රධාන පාපන්දු තරග අත්හිටුවීමට ජනාධිපති ජොකෝ විඩෝඩෝ තීරණය කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කල දර්ශන පහතින් 


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now