ප්‍රසිද්ධ ටියුෂන් ගුරුවරයෙකුට බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කෙරේ..!

Dr Wijeyadasa Rajapakshe Sri Lanka Supreme Court of Sri Lanka
By Sewvandhi Oct 05, 2022 03:53 PM GMT
Report

අධිකරණයට සහ අමාත්‍ය විජයදාස රාජපක්ෂට අපහාස කිරීමේ චෝදනාවට වරද පිළිගත් උපකාරක පන්ති ගුරුවරයකු වන විමල් රොහාන් කෝදාගොඩ බරපතල වැඩ සහිත වසර දෙකක සිර දඬුවම් නියම කර එය වසර පහකට අත්හිටුවීමට ශ්‍ර්ෂ්ඨොධිකරණය විසින් තීන්දු කරන ලදී. ඊට අමතරව රුපියල් ලක්ෂ 03 ක දඩයක් ද නියම කළ විනිසුරු මඩුල්ල එම දඩ මුදල අද සිට සති දෙකක් තුළ ගෙවා අවසන් කළ යුතු බවට නියෝග කර සිටියා.

එම දඩ මුදල ගෙවීම පැහැර හරිනු ලබන්නේ නම් අමතරව මාස හයක ලිහිල් සිර දඬුවම් නියම කරන බවත් තීන්දුවේ සඳහන් වුණා. අදාල චෝදනාවලට වරද පිළිගැනීමෙන් අනතුරුව වග උත්තරකරුට ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනි වික්‍රමසිංහ සහ මහින්ද සමයවර්ධන යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රි පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළා.

2019 වසරේ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කළ පැමිණිල්ලකට අනුව නීතිපතිවරයා විසින් මෙම චෝදනා පත්‍රය ගොනු කර තිබුණා. 2019 වසරේ අගෝස්තු මස 19 වනදා නිවාඩු පනත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු විභාගයක් පැවැති අතර එම නඩු විභාගය අවසන් වීමෙන් පසුව අධිකරණ ශාලාවේ සිටි විජයදාස රාජපක්ෂ මහතාට බැණ වදිමින් තර්ජනය කර අපහාසයක් සිදු කළේ යැයි අදාළ වග උත්තරකරු වෙත චෝදනා එල්ල කර තිබුණා. අද නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී වගඋත්තරකරු අධිකරණයට දන්වා සිටියේ අදාළ චෝදනාවන්ට තමන් වරද පිළිගන්නා බවයි.

අදාළ වරද සම්බන්ධයෙන් අධිකරණයෙන් හා විජයදාස රාජපක්ෂ මහතාගෙන් සමාව අයැද සිටින බවත් වගඋත්තරකරු සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණයට දන්වා සිටියා. වගඋත්තරකරු ගේ සමාව සම්බන්ධයෙන් තමන් සෑහීමකට පත්වන බව අධිකරණය හමුවේ පෙනී සිටි අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ද දැනුම් දුන්නා. අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා කියා සිටියේ විත්තිකරු සිදු කර ඇත්තේ බරපතළ වරදක් බවයි.

ඔහු වරද පිළිගෙන සමාව අයැද සිටීම නිසා අත්හිටවූ දඬුවම් පමුණුවන බවත් විනිසුරු වරයා සඳහන් කළා. මෙවැනි මෝඩ ක්‍රියා සිදු කිරීමෙන් වළකින ලෙස වග උත්තරකරුට තරයේ අවවාද කළ විනිසුරුවරයා තමන්ට වඩා උසස් ආයතන රටේ තිබෙන බව තේරුම් ගන්නා ලෙසත් දන්වා සිටියා. වග උත්තරකරු ගුරුවරයෙකු බැවින් බුද්ධිමත්ව කටයුතු කිරීම අවශ්‍ය බව පෙන්වා දුන් විනිසුරුවරයා ඔහු යටතේ සිටින ළමුන්ට ද මෙවැනි දෑ ඉගැන්වීමෙන් වළකින ලෙසත් විත්තිකරුට තරයේ අවවාද කළා.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now