සැප වාහන ලියාපදිංචිය ගැන ඇහෙන අලුත්ම පුවත..

CID - Sri Lanka Police Bribery Commission Sri Lanka Sri Lanka Police Investigation Department of Motor Vehicles
By Sewvandhi Feb 11, 2024 11:45 AM GMT
Report

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ 05 දෙනෙකු ඇතුළුව 07 දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබේ.

ඒ ශ්‍රී ලංකා රේගුවේ නිෂ්කාසනය නොකළ මෝටර් රථ විශාල ප්‍රමාණයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීම හරහා රජයට විශාල පාදුවීමක් සිදුවීම සම්බන්ධයෙනි.

මෙලෙස නිෂ්කාසනය නොකළ මෝටර් රථ 400කට ආසන්න ප්‍රමාණයක් එම දෙපාර්තමේන්තුව ලියාපදිංචි කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි, නිවේදනයක් නිකුත් කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරන්නේ.

ඉන් වාහන 156ක් පිළිබඳව නිශ්චිත තොරතුරු කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අනාවරණය කරගෙන ඇත.අදාළ නිවේදනයේ දැක්වෙන්නේ, ඉන් බොහෝමයක් වාහන සුඛෝපභෝගී වාහන කාණ්ඩයට අයත් වන බවයි.

එසේම මෙම වාහන වසර ගණනාවක් ප්‍රමාද වී ව්‍යාජ ආකාරයට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීමෙන් එම කාලසීමාවට අදාළවද විශාල බදු මුදලක් රජයට අහිමිව ගොස් තිබේ.

ඉහත වාහන අතරින් වාහන 07ක් වර්තමාන අයිතිකරුවන්ගෙන් ලබාගෙන ශ්‍රී ලංකා රේගුව වෙත භාරදෙන ලෙස අධිකරණය විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත නියෝග කර ඇත.

ඒ අනුව ඉන් වාහන 06ක් මේ වනවිට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිය භාරයට ගෙන ඇති අතර ඉන් වාහන 05ක් ශ්‍රී ලංකා රේගුව වෙත භාරදීමට කටයුතු කර තිබේ.