ජෙරොම් ප්‍රනාන්දුගේ 'අධ්‍යාත්මික පියා' දේව මෙහෙයක් අතරතුරදී පොලිස් අත්අඩංගුවට
ශ්‍රී ලාංකික දේශක ජෙරොම් ප්‍රනාන්දු සමඟ සමීප සබඳතා පවත්වන සිම්බාබ්වේ ජාතික ප්‍රසිද්ධ දේශකයෙකු වන යූබර්ට් ඒන්ජල් (Uebert Angel) අත්අඩංගුවට ගෙන තිබේ.
අශෝභන පහරදීම් සහ ලිංගික අපයෝජන සම්බන්ධ චෝදනා මත ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
සිම්බාබ්වේ ජනරජ පොලිසිය තහවුරු කර ඇත්තේ ඒන්ජල්ගේ සැබෑ නම උබට් මුඩ්සානියර් (Ubert Mudzanire) වන අතර, ඔහු නොවැම්බර් 22 වැනිදා අත්අඩංගුවට ගත් බවයි.
පොලිසිය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ අනාගතවක්තෘ යූබර්ට් ඒන්ජල් අශෝභන පහරදීම් සහ ලිංගික අපයෝජන චෝදනා සම්බන්ධයෙන් එදින දහවල් අත්අඩංගුවට ගත් බවයි.
සිම්බාබ්වේ මාධ්‍ය වාර්තාවලට අනුව, එරට පොලිස් මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් පෝල් නියාති ද මෙම අත්අඩංගුවට ගැනීම තහවුරු කර තිබේ.
දේව මෙහෙයක් අතරතුර අත්අඩංගුවට

ස්පිරිට් තානාපති කාර්යාලයේ නිර්මාතෘවරයා වන යූබර්ට් ඒන්ජල් ප්‍රසිද්ධ ආගමික චරිතයක් වන අතර, ඔහු සිම්බාබ්වේ තානාපතිවරයෙකු ලෙස ද කටයුතු කර තිබේ.
ප්‍රාදේශීය මාධ්‍ය වාර්තාවලට අනුව, හරාරේ නුවර පිහිටි ඔහුගේ පල්ලියේ දේව මෙහෙයක් පැවැත්වෙමින් තිබියදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
කෙසේ වෙතත්, චෝදනාවලට සම්බන්ධ පුද්ගලයන්ගේ අනන්‍යතා ඇතුළු සම්පූර්ණ තොරතුරු පොලිසිය මෙතෙක් ප්‍රසිද්ධ කර නොමැති බව ද වාර්තා වේ.
ජෙරොම් ප්‍රනාන්දු සමඟ ඇති සබඳතාව

යූබර්ට් ඒන්ජල්ට ශ්‍රී ලංකාවේ මතභේදාත්මක දේශකයෙකු වන ජෙරොම් ප්‍රනාන්දු සමඟ සමීප සබඳතා පවතින බව සඳහන් වේ. ඒන්ජල් විසින් ජෙරොම් ප්‍රනාන්දු තම අධ්‍යාත්මික පියා සහ ආගමික උපදේශකයා ලෙස ප්‍රසිද්ධියේ හඳුන්වා දී ඇති බව ද වාර්තා වේ.
මෙම දේශකයන් දෙදෙනා අතර පවතින සබඳතාව මීට පෙර ද ශ්‍රී ලංකාවේ මහජන අවධානයට ලක්ව තිබිණි.
කෙසේ වෙතත්, යූබර්ට් ඒන්ජල්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් අධිකරණ තීන්දුවක් මෙතෙක් ලබාදී නොමැති අතර, ඒවා අධිකරණය හමුවේ ඔප්පු වී නොමැත.