ක්ෂණික දුම්රිය වැඩ වර්ජනයට හේතුව

By Sithumi Sep 27, 2022 01:18 PM GMT
Report

දුම්රිය රියදුරන් සහ සහායකවරුන්ගේ ක්ෂණික වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් දුම්රිය කිහිපයක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. අද (27) උදෑසන බෙලිඅත්ත සිට මරදාන බලා ධාවනය වූ රුහුණු කුමාරි දුම්රිය "රියදුරු සහායකයෙකු" විසින් මරදාන සිට දෙමටගොඩ දුම්රිය අංගනය වෙත රැගෙන යාමේදී අනතුරක් සිදුව තිබුණි. එහිදී දුම්රිය රියදුරෙකුගේ නිල නිවාසකට ද හානි සිදුව තිබුණි.

අනතුර සම්බන්ධයෙන් දුම්රිය පාලනාධිකාරිය විසින් රියදුරු සහායකවරයෙකු වැඩතහනම් කර ඇත. ඊට විරෝධය පළකරමින් දුම්රිය එන්ජින් රියදුරු සහායකවරුන් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇති බව වාර්තා විය. පැය දෙකකට ආසන්න කාලයක් එම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය පැවති අතර එම කාලය තුළ දුම්රිය 5ක් අවලංගු කිරීමට පියවර ගෙන ඇත. කෙසේවෙතත් අදාළ අනතුර සම්බන්ධයෙන් දුම්රිය පාලනාධිකාරිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.