කොළඹ කොටුවේ දුම්රියක් පීලි පනී - වේදිකා දෙකක ධාවනයට බාධා
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී අද (20) පස්වරුවේ දුම්රියක් පීලි පැනීමකට ලක්වීම හේතුවෙන් වේදිකා දෙකක දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ල වී තිබේ.
දුම්රිය දෙපාර්තමේන්තුවට අනුව, සවස 4.45ට රඹුක්කන බලා ධාවනය වීමට නියමිත අංක 1164 දරණ දුම්රිය වේදිකාව වෙත ඇතුළුවීමට උත්සාහ කිරීමේදී සවස 4.35ට පමණ මෙම පීලි පැනීම සිදුව ඇත.
අනතුරින් දුම්රියේ එක් මැදිරියක රෝද දෙකක් පීලිවලින් ඉවතට පැන ඇති බව වාර්තා වේ.
මෙම දුම්රිය මීට පෙරද පසුගිය 7 වැනිදා සමාන ආකාරයේ පීලි පැනීමකට ලක්ව තිබූ බවද වාර්තා වේ.
පීලි පැනීම හේතුවෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ වේදිකා දෙකක් තාවකාලිකව අවහිර වී ඇති අතර, දුම්රිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා දුම්රිය බලධාරීන් කටයුතු කරමින් සිටී.
මේ හේතුවෙන් සවස් කාලයේ ධාවනය වන කාර්යාල දුම්රිය කිහිපයක ධාවනයටද සුළු ප්‍රමාදයන් ඇති විය හැකි බව දුම්රිය ආරංචි මාර්ග සඳහන් කරයි.