කොළඹ - මහනුවර මාර්ගයේ අද රෑ රථවාහන සැලැස්ම වෙනස් වෙයි

Sri Lanka Police Latest Headlines Sinhala news Puwath.lk Traffic Jam
By R.rishma Oct 03, 2026 08:57 AM GMT
Report

වීරගුල පොලිස් වසමේ වීදියවත්ත සතර මහා දේවාලයේ වාර්ෂික පෙරහර අද (03) රාත්‍රී 9.00 සිට හෙට (04) අලුයම 3.00 දක්වා වීථි සංචාරය කිරීමට නියමිතව තිබේ.

දේවාලයෙන් ආරම්භ වන පෙරහර කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගය ඔස්සේ යක්කල හන්දිය දක්වා ගමන් කර, නැවත එම මාර්ගය ඔස්සේ දේවාලය වෙත පැමිණීමට නියමිතය.

පෙරහර ගමන් කරන කාලය තුළ එම මාර්ගයේ ඇති විය හැකි රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් සහ මහජනතාවගෙන් ඉල්ලා සිටී.

භාවිත කළ හැකි විකල්ප මාර්ග

මහනුවර සිට කොළඹ දෙසට:

මහනුවර දෙස සිට පැමිණෙන රථවාහන තිහාරිය හන්දියෙන් වමට හැරී වාරණ මාර්ගය ඔස්සේ කලටුවාව පාලම හරහා ගමන් කර, නෙල්ලිගහමුල ඉන්ධන පිරවුම්හල අසලින් දකුණට හැරී යක්කල - කිරිඳිවැල මාර්ගය ඔස්සේ යක්කල හන්දියට පැමිණ, එතැනින් වමට හැරී කොළඹ දෙසට ගමන් කළ හැකිය.

කොළඹ සිට මහනුවර දෙසට:

කොළඹ දෙස සිට මහනුවර දෙසට ගමන් කරන රථවාහන සඳහා ද ඉහත විකල්ප මාර්ගය භාවිත කළ හැකි අතර, යක්කල හන්දියෙන් යක්කල - කිරිඳිවැල මාර්ගය ඔස්සේ නෙල්ලිගහමුල දක්වා ගමන් කර, එතැනින් වාරණ මාර්ගය ඔස්සේ කලටුවාව පාලම හරහා තිහාරිය හන්දියට පැමිණ දකුණට හැරී මහනුවර දෙසට ගමන් කළ හැකිය.  

පෙරහර පැවැත්වෙන කාලය තුළ රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා පොලිසිය ලබාදී ඇති මාර්ග උපදෙස් අනුව කටයුතු කරන ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටී.