ශ්‍රී පාදස්ථානයට යන්නත් ප්‍රවේශ පත්‍රයක් - අලුතින්ම ගත් තීරණය

Sri Lanka Hatton
By Sewvandhi Oct 05, 2023 02:19 PM GMT
Report

ශ්‍රි පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමි පවසන්නේ, ශ්‍රී පාදස්ථානය නැරඹීම සඳහා පැමිණෙන පුද්ගලයින්ගෙන් මුදල් අයකරගැනීම අසාධාරණ බවයි.

වනජිවි සංරක්ෂණ දෙපාර්තුමේන්තුව ඊයේ (04) සිට මෙලෙස මුදල් අයකිරීම ආරම්භ කර ඇති බවයි,මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් නාහිමි වැඩිදුරටත් සඳහන් කළේ.

රජ සමයේ සිට වාරයේ සහ අවාරයේ ශ්‍රි පාදස්ථානය වැද පුදා ගැනිමට පැමිණෙන කිසිදු වන්දනාකරුවෙකුගෙන් මුදල් අය කිරිමක් සිදු නොකළ බවද පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමි වැඩිදුරටත් සඳහන් කළේය.

එහිදී නාහිමි අවධාරණය කළේ, ශ්‍රි පාද රත්නපුර සහ හැටන් මාර්ගයේ පියගැටපෙල ඇතුළු වන්දනාකරුවන්ට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරිමට තමන් වහන්සේ කටයුතු කළ බවයි.

ශ්‍රි පාදස්ථානය අවාරයේ සංචාරය කරන දෙස් විදෙස් සංචාරකයන්ට ප්‍රවේශපත්‍ර නිකුත් කිරිම සම්බන්ධයෙන් නල්ලතන්නිය වනජිවි සංරක්ෂණ කාර්යාලය කියා සිටියේ අවාරයේ ශ්‍රි පාදස්ථානයේ සංචාරය සදහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සඳහා 2022 වසරේ වනජිවි සංරක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් ගැසට් පත්‍රයක් නිකුත් කර ඇති බවය.

එම ගැසට් පත්‍රය අනුව (04) දින පස්වරුවේ සිට නල්ලතන්නිය මාර්ගයෙන් ශ්‍රි පාදස්ථාන සංචාරයේ යෙදෙන විදේශීය සංචාරකයෙකුගෙන් ඩොලර් 5 ක මුදලක්, සාර්ක් රටවල් වලින් පැමිණෙන විදේශීය සංචාරකයන්ට ඩොලර් 4 ක මුදලක් අය කර ප්‍රවේශපත්‍ර නිකුත් කරන ලෙසට තමන්ට වනජිවි දෙපාර්තුමේන්තුවේ උසස් නිලධාරින්ගෙන් උපදෙස් ලැබුණු බවය.

එම නිලධාරියා වැඩි දුරටත් කියා සිටියේ දේශිය සංචාරකයන්ට රු 40 ක මුදලක් අය කර ප්‍රවේශපත්‍ර නිකුත් කරන බවත්, මෙම ප්‍රවේශපත්‍ර නිකුත්කිරිම ශ්‍රි පාද අවාරයේ පමණක් සිදු කරන බවත්ය.