ටිබෙට් කඳුකරය ප්‍රබල භූමිකම්පාවකින් සෙලවෙයි - 16ක් මරුට, නිවාස 339ක් විනාශයි

Earthquake Death Tibet Sinhala news Breaking News
By R.rishma Oct 23, 2026 02:25 AM GMT
Report

චීනයට අයත් ටිබෙට් කඳුකර ප්‍රදේශයක ඊයේ (22) රාත්‍රියේ සිදුවූ ප්‍රබල භූමිකම්පාවකින් පුද්ගලයින් 16 දෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

රික්ටර් මාපකයේ ඒකක 7ක ප්‍රබලත්වයකින් යුත් මෙම භූමිකම්පාව එරට වේලාවෙන් රාත්‍රී 10.33ට පමණ සිදුවූ බව චීන භූමිකම්පා මධ්‍යස්ථානය නිවේදනය කර තිබේ.

සිදුවීමත් සමඟ අදාළ කලාපයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට චීන බලධාරීන් පියවර ගෙන ඇති අතර, විපතට පත්වූවන් මුදාගැනීම සහ සහන සැලසීම සඳහා ගලවා ගැනීමේ කණ්ඩායම් ද එම ප්‍රදේශයට යොමු කර ඇත.   

භූමිකම්පාව හේතුවෙන් ප්‍රදේශයේ විදුලි සැපයුම ද බිඳවැටී ඇති අතර, නිවාස 339ක් කඩා වැටී ඇති බව ප්‍රාදේශීය වාර්තා සඳහන් කරයි. විපතට පත්වූවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වන බැවින් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවට ද අවධානය යොමුව තිබේ.

ටිබෙට් ඇතුළු මෙම කලාපය භූ කම්පනවලට නිරන්තරයෙන් ගොදුරු වන ප්‍රදේශයක් ලෙස සැලකේ. මීට පෙර 2023 වසරේදී සිදුවූ රික්ටර් මාපකයේ ඒකක 6.2ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවකින් පුද්ගලයින් 120කට වැඩි පිරිසක් මියගොස් තිබුණි.

එමෙන්ම, 2010 වසරේදී මෙම ප්‍රදේශයේ සිට කිලෝමීටර් 280ක් පමණ දුරින් පිහිටි චිංහායි පළාතේ සිදුවූ රික්ටර් මාපකයේ ඒකක 7.1ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවකින් පුද්ගලයින් 2,698 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 300කට ආසන්න පිරිසක් අතුරුදන් වූහ.

නවතම භූමිකම්පාවෙන් සිදුවූ හානියේ සම්පූර්ණ තක්සේරුව සහ විපතට පත්වූවන් පිළිබඳ තොරතුරු සොයා ගැනීම සඳහා චීන සහන කණ්ඩායම් තවදුරටත් මෙහෙයුම්වල නිරතව සිටිති.