කාවන්තිස්ස ඇතාගේ මරණය ගැන විමර්ශනයට පත් කළ විශේෂඥ කමිටුව පළමු වරට රැස්වෙයි

Death Latest Headlines Sinhala news Puwath.lk Kawanthissa
By R.rishma Oct 21, 2026 11:20 AM GMT
Report

‘කාවන්තිස්ස’ ඇතාගේ මරණය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සහ ඇතුන් සුරැකීමේ ජාතික වැඩසටහනක් සකස් කිරීම සඳහා පත් කළ විශේෂඥ කමිටුව අද (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පළමු වරට රැස්ව තිබේ.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.

2026 ඔක්තෝබර් 16 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී ගල්ගමුව, සියඹලන්ගමුව ප්‍රදේශයේදී මියගිය ‘කාවන්තිස්ස’ ඇතාගේ මරණය සම්බන්ධ සියලු කරුණු විමර්ශනය කිරීම, වන අලි සුබසාධනය සඳහා සම්මත මෙහෙයුම් පටිපාටියක් සකස් කිරීම සහ ඇතුන් සුරැකීමේ ජාතික වැඩසටහනක් සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කමිටුවට පැවරී ඇති ප්‍රධාන වගකීම් වේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම විශේෂඥ කමිටුව පත් කරනු ලැබීය.

කමිටු රැස්වීමේදී ඇතාගේ මරණයට හේතුව, ඇතාට සිදුවූ හානියේ ස්වභාවය සහ ඒ සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මැදිහත් වූ ආකාරය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

අනාගතයේදී මෙවැනි සිදුවීම් ඇති වූ විට කඩිනමින් ක්‍රියාත්මක වීම සඳහා විද්‍යාත්මක පදනමක් මත සම්මත මෙහෙයුම් පටිපාටියක් සකස් කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධානයට ලක්ව ඇත.

එමෙන්ම, ක්ෂේත්‍රයේදීම කඩිනම් ප්‍රතිචාර දැක්වීම සඳහා පශු වෛද්‍ය ඒකකයක් (Rapid Response Veterinary Unit) ස්ථාපිත කිරීම පිළිබඳව ද සාකච්ඡා කර තිබේ.

මෙම කටයුතු සඳහා දේශීය මෙන්ම විදේශීය විශේෂඥයන්ගේ සහාය ලබා ගැනීමට ද කමිටුව තීරණය කර ඇත.

විශේෂඥ කමිටුවේ සම්බන්ධීකාරක සහ ජනාධිපති අතිරේක ලේකම් ඩබ්ලිව්. ඩබ්ලිව්. හැරිසන් මහතා, කමිටු සභාපති සහ හිටපු අමාත්‍යාංශ ලේකම් ඒ. එච්. සරත් විජේසිංහ මහතා ඇතුළු සාමාජිකයන් වන මහාචාර්ය ටී. සමින්ද ප්‍රනාන්දු, මහාචාර්ය පී. ජී. අනිල් පුෂ්පකුමාර, මහාචාර්ය යූ. කේ. කාලිංග පද්මලාල්, ආචාර්ය ජගත් ගුණවර්ධන සහ නීතිඥ චරක ජයරත්න යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.