‍රට ඉඳන් සල්ලි එවන අයට සතුටු හිතෙන ආරංචියක් - ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්..!

Dollar to Sri Lankan Rupee Manusha Nanayakkara Sri Lanka Dollars
By Sewvandhi Oct 13, 2022 02:41 PM GMT
Report

විගමනික ශ්‍රමිකයන් විසින් නිල බැංකු පද්ධතිය හරහා මෙරටට යොමු කරන ප්‍රේෂණ සදහා බදු අය කිරීමක් නොකරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසනවා. ඔහු මේ බව පැවසුවේ අද(13) පෙරවරුවේ කම්කරු අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවක දී යි.

මෙම සතියේ සිට ක්‍රියාත්මක මාසික ආදායම මත අයකරන බදු සම්බන්ධයෙන් වන නවතම තත්ත්වය පැහැදිලි කරමින් අමාත්‍යවරයා පවසා සිටියේ නිල බැංකු පද්ධතියෙන් බැහැර ව, නීති විරෝධී ක්‍රමයට මෙරටට එවන මුදල්වලට මෙම බදු සහනය හිමි නොවන බවයි. මහ බැංකුව සහ ශ්‍රී ලංකා පොලීසිය හා එක් ව මේ වන විට නීති විරෝධී ව මෙරටට මුදල් එවන පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක කර ඇති බවත්, මේ වන විට කිහිප දෙනෙකතු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති බවත් එහි දී අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

"උපයන විට ගෙවීමේ බදු ක්‍රමය මෙරට තුළත් ක්‍රියාත්මකයි. විදෙස් රැකියාවක නිරත වෙන ශ්‍රමිකයා එරටේ බදු ප්‍රතිපත්තිවලට යටත්. ඒ නිසා ඔවුන් උපයන මුදලින් ඒ රටට අදාළ බදු මුදල ගෙවලා ඉවරයි. ඒ නිසා ඔවුන් මෙරටට යොමු කරන විදෙස් ප්‍රේෂණ සදහා අපි කිසි ම අවස්ථාවක නැවත වරක් බදු අය කරන්නේ නෑ. එහෙම කරන එක සදාචාරාත්මක නෑ. හැබැයි මේ බදු සහනය තියෙන්නේ, මෙරට නිල බැංකු පද්ධතිය හරහා විදෙස් මුදල් ඒකකවලින් ම මෙරටට ප්‍රේෂණ යොමු කරලා තියෙනවා නම් පමණයි. එහෙම නැති ව වෙනත් නීති විරෝධී ක්‍රමයන්ට මෙරටට මුදල් යොමු කරලා ඒවාට බදු සහන බලාපොරොත්තු වෙන්න එපා. ඒවා අනිවාර්යයෙන් ම නව අදායම් බදු ක්‍රමයට යටත් වෙනවා". යනුවෙන් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මේ අතර, විදෙස්ගත ශ්‍රමිකයන් විසින් එවන භාණ්ඩ නැතිවීම් සම්බන්ධ කරුණු වාර්ථා වී තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් නිරන්තර සොයා බැලීම් සිදු කරන බවත් අමාත්‍යවරයා පැවසුවා. "බඩු ලංකාවට එවන පුද්ගලික ආයතනවලදී මේ ගැටලු ගැටළු මතුව තිබෙන බව වාර්ථා වෙනවා. ඒ නිසා අපි නව වැඩපිළිවෙළක් විදිහට එම භාණ්ඩ,අදාල ආයතන තුළ ස්කෑන් කර අදාල පාර්ශවයන්ට භාර දීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා." යනුවෙන් ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now