තිරිගු පිටි මිල 290ට බසී..ලබන සතියේ තවත් අඩු වෙයි?.අද තීරණය කරයි.

Business Mobile Sri Lanka Nalin Fernando
By Aruna Oct 17, 2022 03:00 AM GMT
Report

තිරිගු පිටි කිලෝවක මිල ඉකුත් දා රුපියල් 85 කින් අඩු කළද එම සහනය මේ දක්වා පාරිභෝගික ජනතාව වෙත ලැබී නොමැති බව රටේ හතර දෙසින් වාර්තා වනවා.

මෙම මිල අඩුවීමත් සමග රුපියල් 290 කට තිරිගු පිටි කිලෝවක් මිලදී ගත හැකි බවයි ප්‍රකාශ කෙරුණේ.

එහෙත් මේවනවිටත් වෙළඳපලේ පවතින තිරිගු පිටි කිලෝවක මිල සඳහන් වන්නේ රුපියල් 400 ක් සහ ඊට වැඩි අගයකයි.

දිවයින පුරා වෙළඳසැල් බොහෝමයක රුපියල් 400 සිට 440 දක්වා විවිධ මිල ගණන් යටතේ තිරිගු පිටි කිලෝවක් අලෙවි වන බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ඒ අනුව තිරිගු පිටි එකම මිලක් යටතේ පවත්වාගෙන යාමට නොහැක්කේ ඇයිදැයි වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ ,ඒ සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් අද දිනයේ පැවැත්වෙන බවයි.

මෙම සාකච්ඡාවේදී තිරිගු පිටි සඳහා පාලන මිලක් නියම කරන්නේ දැයි විමසූ විට අමාත්‍යවරයා සඳහන් කළේ, මෙරට තිරිගු පිටි නිෂ්පාදනය කරන ප්‍රධාන සමාගම් 02 මෙන්ම තිරිගුපිටි ආනයනකරුවන් ද අදාළ ගැටළුව සම්බන්ධයෙන් දැනුවත් කරන බවයි.

ඊට ඔවුන් දක්වන ප්‍රතිචාරය අනුව තිරිගු පිටි සඳහා පාලන මිලක් ගෙන ඒම සම්බන්ධයෙන් තීරණය කරන බවද වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා කියා සිටියා.

කෙසේවෙතත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පැවසුවේ, ආනයනික තිරිගු පිටි කිලෝවක් රුපියල් 290ක තොග මිලකට පිටකොටුව තොග වෙළඳසැල්වලින් ලබාගැනීමේ හැකියාව පවතින බවයි.

එහි මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න පැවසුවේ තිරිගු පිටි රැගත් නෞකා කිහිපයක් එළඹෙන සතියේ ද මෙරටට ළගාවීමට නියමිත බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now