ප්‍රියමාලිගේ තවත් දුරකථන CIDයට - පැමිණිලි ගණනත් තවත් ඉහළ යයි

CID - Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Businessman
By Sithumi Oct 14, 2022 02:19 PM GMT
Report

රුපියල් කෝටි ගණනක මුදල් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප්‍රියමාලිට අයත් තවත් දුරකථන කිහිපයක් විමර්ශනයට ලක්කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ ස්ථානීය පරීක්ෂා කිරීම් කිහිපයක් සඳහා ඉදිරියේදීත් ඇය තවත් ස්ථාන කිහිපයකට රැගෙන යාම නියමිත බවයි. එමෙන්ම මේ වන විට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය තිළිණි ප්‍රියමාලිට සම්බන්ධ හඩ පට උපයෝගි කරගනිමින් ඇය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන පුළුල් කරන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එම නිලධාරියා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

එමෙන්ම ඇයට එරෙහිව තවත් පැමිණිලි දෙකක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී තිබෙනවා. ඊයේ දිනයේදී ලැබුණු මෙම පැමිණිලි දෙකෙන් එකක් කොළඹ - කුරුඳුවත්ත ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකුගෙන් බව පොලිසිය සඳහන් කළා.

රුපියල් කෝටි 75 ක මුදලක් වංචා කර ඇති බව පවසමින් මෙම ව්‍යාපාරිකයා තිළිණි ප්‍රියමාලිට එරෙහිව පැමිණිලි කර තිබෙනවා. අනෙක් පැමිණිල්ල කොළඹ පදිංචි තවත් පුද්ගලයෙකු විසින් සිදුකර ඇති අතර, ඔහු සඳහන් කර ඇත්තේ රුපියල් කෝටි හතකට අධික මුදලක් ඇය වංචා කර ඇති බවයි.

ඒ අනුව මේ දක්වා මුදල් වංචා කිරීමේ චෝදනාව යටතේ ඇයට එරෙහිව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 11 ක්. තිළිණි ප්‍රියමාලි ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පවත්වාගෙන ගිය ව්‍යාපාරික ස්ථානයේ සේවක සේවිකාවන්ගෙන් ද ප්‍රකාශ ගැනීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට ආරම්භ කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now