පාසල් සිසුවාට වෙඩි තැබූ පොලිස් නිලධාරියා ගැන ගත් අලුත්ම තීරණය..!

By Sewvandhi Nov 18, 2022 12:45 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

පසුගිය 28 වනදා තිහගොඩ මිදෙල්ලවල ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයකින් ගමන්ගත් පාසල් සිසුවෙකුට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව සැකකාර හිටපු උප පොලිස් පරීක්ෂකවරයා දෙසැම්බර් දෙවන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ .

ඒ සම්බන්ධව අද (18) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු උප පොලිස් පරීක්ෂකවරයාව අද පෙරවරුවේ මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා හමුවට කැඳවා තිබුණි. එහිදී සැකකරු වෙනුවෙන් පෙනිසිටි නීතිඥවරුන් සැකකරුට ඇප ලබාදෙන ලෙස මහෙස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලිමක් කළේය.

මෙම වෙඩිතැබීම සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවන පොලිස් කණ්ඩායම අධීක්ෂණය කරනු ලබන සහාකාර පොලිස් අධිකාරි මහේෂ් කුමාර මහතා විසින් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කරමින් ඇප ලබාදීමට තමන් තදින් විරුද්ධ වන බව කියා සිටියේය. කරුණු සලකාබැලූ මහෙස්ත්‍රාත්වරයා මෙම සැකකරු තවදූරටත් ලබන මස 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස එහිදී නියෝග කළේය.

පසුගිය නඩු වාරයේදී මෙම සැකකරු හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලද අතර එහිදී වෙඩිතැබීම සිදූවන අවස්ථාවේ එම ත්‍රීරෝද රථයේ සිටි සිසුන් අතරින් සිසුන් 4 දෙනෙකු මෙම සැකකාර හිටපු උප පොලිස් පරික්ෂකවරයාව හඳුනාගැනීමට සමත් විය.වෙඩි වැදීමෙන් තුවාල ලැබු 15 හැවිරිදි නායිම්බල කටුවන්තුඩව ප්‍රදේශයේ පදිංචිව සිටි පී.බී හරිෂ් හංසක සිසුවා මේ වනවිටත් කරාපිටිය මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

අධිකරනය අසලට පැමිණ සිටි මෙම සිසුවාගේ වැඩිමහල් සොහොයුරිය කියා සිටියේ මේ වනවිට තම සහෝදරයා දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට මාරුකර ඇති බවත් ඔහු හුස්ම ගන්නා නමුත් සිහිසුන් තත්ත්වයෙන් සිටින බවය. මේ වනවිට සිය සහෝදරයාගේ ප්‍රතිකාර සඳහා අවශ්‍ය බෙහෙත් ඇතුලූ අනෙකුත් අවශ්‍යතා සඳහා දෛනිකව යන වියදම දාරාගැනීමට පවා නොහැකි බව සඳහන් කළාය.