මහවැලි ගඟ උතුරා නාවලපිටියට මහ ගංවතුරක්

Floods In Sri Lanka Latest Headlines Sinhala news Disaster
By R.rishma Sep 20, 2026 08:21 AM GMT
Report

පවතින අධික වර්ෂාපතනයත් සමඟ දිවයිනේ ප්‍රධාන ගංගා රැසක ජල මට්ටම් ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවත්, මහවැලි ගඟ ආශ්‍රිත නාවලපිටිය ප්‍රදේශයට මේ වන විට මහ ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

තෙත් කලාපයට අයත් ප්‍රදේශවලට ලැබුණු වර්ෂාපතනයේ සැලකිය යුතු වැඩිවීමක් දක්නට ලැබෙන අතර, පසුගිය පැය 24 තුළ කැලණි සහ මහවැලි ගංගා ආශ්‍රිත ඉහළ ධාරා ප්‍රදේශවලට මිලිමීටර් 150ට ආසන්න තද වර්ෂාපතනයක් ඇදහැලී තිබේ. 

ඒ අනුව නිල්වලා, ගිං, කළු, මහවැලි, කැලණි සහ අත්තනගලු ඔය යන ප්‍රධාන ගංගාවල ජල මට්ටම් වේගයෙන් ඉහළ යමින් පවතී.

මහවැලි ගං ද්‍රෝණියේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් නාවලපිටිය, පේරාදෙණිය සහ ගම්පොළ යන ප්‍රදේශවල පදිංචි ජනතාව දැඩි අවධානයෙන් පසුවිය යුතුය. 

එමෙන්ම කැලණි ගඟේ නෝවුඩ්, කිතුල්ගල සහ අවිස්සාවේල්ල ජල මාපකවල අගයන් ඉහළ යමින් පවතින බැවින් අවිස්සාවේල්ල, කිතුල්ගල, යටියන්තොට සහ නෝවුඩ් යන ප්‍රදේශවල පහත්බිම් වැසියන්ට ද විමසිලිමත්ව සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ එල්.එස්. සූරියබණ්ඩාර මහතා වැඩිදුරටත් දැනුම් දෙයි.