පාන් මිලටත්, මිල සූත්‍රයක් එයි..බර අඩුනම් වදින දඬය මෙන්න..

Business Mobile Sri Lanka
By Aruna Oct 28, 2022 03:30 AM GMT
Report

වෙළෙඳුන් හිතුමතේ ඉහළ දමන පාන් මිල පාලනයට මිල සූත්‍රයක් හඳුන්වාදෙන ලෙස කිරුම් සහ මිනුම් පරීක්ෂකවරුන්ගේ වෘත්තීය සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක දුලිත් අශෝක මහතා ඉල්ලා සිටින්නේ අඩු බර පාන් විකිණීම ඇතුළු පාන් ආශ්‍රිත ගැටළු නිරාකරණයට පාන් ආඥාපනත අවලංකු කිරීම හෝ සංශෝධනය කරන ලෙසයි.

ඔවුන්ගේ යෝජනාවලින් එකක් ක්‍රියාත්මක කර සතියක් තුළ සාධාරණ මිලට සහ නිශ්චිත බර පාන් පාරිභෝගිකයාට මිලදී ගැනීමට අවශ්‍ය වෙළෙඳ පොළ සකස් කරන බව ද කිරුම් සහ මිනුම් පරීක්ෂකවරු අවධාරණය කළා.

පාන් කිලෝග්‍රෑමයක නිශ්චිත මිල තීරණය කිරීම හෝ ග්‍රෑම් 450 ක පාන් මිල ගැසට් කිරීම හෝ පාන් පෙර ඇසුරුම් භාණ්ඩයක් ලෙස නම් කිරීම කිරුම් මිනුම් පරීක්ෂකවරුන්ගේ යෝජනා වලට ඇතුළත්.

එමෙන්ම, ලෝක වෙළෙඳ පොලේ පිටි මිල, ඩොලරයේ අගය සහ නිෂ්පාදනය පිරිවැය පදනම් කර පාන් සඳහා මිල සූත්‍රයක් ඉදිරිපත් කරන ලෙස ද කිරුම් සහ මිනුම් පරීක්ෂකවරු ඉල්ලා සිටිනවා.

ඔවුන් පෙන්වාදෙන්නේ, බේකරිකරුවන්ට සහ වෙළෙඳුන්ට උපදෙස් දී ඇති පාන් ආඥාපනත තුළ පාන් සම්බන්ධ ක්‍රියාකරන බලධාරීයා සඳහන් කර නොමැතිවීම ගැටළුවක් බවයි.

එමෙන්ම, අඩුබර පාන් විකිණීමට උපරිම දඩය රු. 2,500/- ක් වීම තවත් ගැටළුවක් බව ද කිරුම් සහ මිනුම් පරීක්ෂකවරුන්ගේ වෘත්තී සමිතිය පෙන්වාදෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now