ලොකු ළුෑණු කිලෝවක් රුපියල් 150ට දෙන්න යයි..ජනතාවට සතුටුදායක ආරංචියක්..

Mahinda Rajapaksa Economy of Sri Lanka Businessman Nalin Fernando
By Aruna Mar 14, 2024 12:44 AM GMT
Report

ලොකු ළුෑණු මෙට්‍රික් ටොන් 90 ක් ලබා ගැනීම සඳහා රජය ඉන්දියාවෙන් පෙරේදා (12 ) ඉල්ලීමක් කර ඇති අතර, එරටින් ලොකු ළුෑණූ ආනයනය කළහොත් කිලෝවක් රුපියල් 150 ක තොග මිලකට ලබාදීමට හැකියාව පවතින බවයි රජයේ ආරංචිමාර්ග පවසන්නේ.

ඉන්දියාව මෙරටට ලොකු ළුෑණු අපනයනය ඉකුත් වසරේ (2023) දෙසැම්බර් මාසයේදී නතර කළ අතර,එය මේ මස 31 වැනිදා දක්වා ක්‍රියාත්මක වනවා.

එමෙන්ම,පාකිස්තානයද මෙරටට ලොකු ළුෑණු අපනයනය අප්‍රේල් මස 14 වැනිදා මධ්‍යම රාත්‍රි 12 දක්වා නතර කර ඇත.

මෙම තත්ත්වය මත ලංකාව තුළ ලොකු ළුෑණු හිඟයක් නිර්මාණයවී ඇති අතර,මිලද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.

මෙම ගැටලුවට පිළියමක් ලෙස රජය ඉන්දියානු රජයෙන් සහ එරට වෙළෙඳ අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇත්තේ අපනයනය නතර කර ඇතත්,මෙරට ලොකු ළුෑණු හිඟය පියවා ගැනීම සඳහා ලොකු ළුෑණු මෙට්‍රික් ටොන් 90 ක තොගයක් ලබාදීමට කටයුතු කරන ලෙසයි.

නමුත්,ඊට ඊයේ (13 ) සවස් වනතුරුද එරටින් පිළිතුරක් ලැබී නැතැයිද රජයේ ආරංචිමාර්ග කියා සිටියි.

මෙරට මාසික ලොකු ළුෑණු අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 25 ත් 30 ත් අතර ප්‍රමාණයකි.

වාර්ෂික ලොකු ළුෑණු අවශ්‍යතාව මෙට්‍රික් ටොන් ලක්ෂ තුනකි.

නමුත් ඉකුත් වසරේ (2023) මෙරට ලොකු ළුෑණු නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 7,851 ක් පමණි.

මෙම තත්ත්වය යටතේ රටේ මාස තුනක ලොකු ළුෑණු අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා මෙට්‍රික් ටොන් 90 ක් ලබාදෙන ලෙසත්,මුලින් මෙට්‍රික් ටොන් 30 ක් ලබාදෙන ලෙසද ඉන්දියානු රජයෙන් ඉල්ලීමකර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ නමුත්,ඉන්දියාව ඊට එකඟතාව පළකරන්නේ නම් නිදහස් වෙළෙඳ බලපත්‍රයක් යටතේ මෙරටට ලොකු ලූනු ආනයනය කිරීමට අවස්ථාව ලැබේ.

ඉන්දියාවේ සිට ලොකු ලූනු ආනයනය කිරීමේදී කිලෝවක් සඳහා බදුද ඇතුළත්ව ආනයනික වියදම රුපියල් 140 ක් පමණ වන අතර,ඒ අනුව,කිලෝවක් රුපියල් 150 ක තොග මිලකට සැපයීමේ හැකියාව පවතින බවද රජයේ ආරංචිමාර්ග පවසයි.

ඉන්දියාවේ සිට මෙරටට ලොකු ලූනු අපනයනය කිරීමේදී දින තුනක කාලයක් ගතවේ.නමුත්,අදාළ එකඟතාව ලබා ගැනීමට ඉන්දියානු රජයේ වෙළෙඳ අමාත්‍යාංශය ඇතුළු ආයතන සම්බන්ධීකරණය කරගැනීමට නොහැකිවී තිබේ.

මේ අතර,වෙළෙඳ ඇමැතිවරයා පසුගියදා කියා සිටියේ පාරිභෝගික ජනතාවට ලොකු ලූනු කිලෝවක් රුපියල් 375 ත් 400 ත් අතර මුදලකට ලබාදෙන බවය.

වෙළෙඳුන් කීප දෙනකු සහ වෙළෙඳ අමාත්‍යාංශය එක්ව වැඩි මිලකට ලොකු ලූනු අලෙවි කිරීමේ උත්සාහයක නිරත වන බවද රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ අතර,රට තුළ තිබෙන රතු ලූනු ප්‍රමාණයද ක්‍රමයෙන් අඩුවෙමින් තිබෙන බවද රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි.

ඉකුත් වසරේ (2023) ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් දක්වා වූ කාලය තුළදී ලොකු ලූනු මෙට්‍රික් ටොන් 239,305 ක් ඉන්දියාවෙන් ආනයනය කර ඇති අතර,ඒ සඳහා වැයකර තිබෙන මුදල රුපියල් මිලියන 24,000 කි.