චීවරධාරියා ගේ පිහි ඇනුම කෑ පොලිස් නිලධාරියා අද මියයයි.
හිමිනමක විසින් තියුණු ආයුධයකින් පහරදීමක් හේතුවෙන් බරපතළ තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පොලිස් නිලධාරියා අද (19) උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා බව වාර්තා වෙනවා.
ඔහු දෙනියාය පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයෙක් වන අතර උඩගොමඩිය, කටුවන ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි වියේ පසුවූ විවාහක අයෙක්.
පල්ලේගම ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වසන වයස අවුරුදු 18ක් පමණ වන හිමිනමක විසින් දෙනියාය, පල්ලේගම ගංගොඩ පාරේ පිහිටි සම්බෝධි වැඩිහිටි නිවාසය අසල දී පසුගිය 16 වැනි මෙම පොලිස් නිලධාරියාට පිහි ඇනුම සිදු කර තිබුනේ ප්‍රේම සම්බන්ධතාවයක් මත සිදු වූ පෞද්ගලික ආරවුලක් මතයි.
මියගිය පොලිස් නිලධාරියා උඩගොමඩිය, කටුවන ප්‍රදේශයේ පදිංචි විවාහක නිලධාරියෙකු වන අතර, සැකකර හිමි නමගේ වයස 20ක් පමණ වන සහෝදරියක සමඟ මෙම පොලිස් නිලධාරියා ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් තිබෙනවා.
මෙම ප්‍රේම සම්බන්ධතාව නවතා දමන ලෙස හිමිනම විසින් පොලිස් නිලධාරියාට අවස්ථා කිහිපයක දී දැනුම්වත් කොට තිබූ නමුත් එම පොලිස් නිලධාරියා ප්‍රේම සම්බන්ධතාව පවත්වාගෙන යන හිමිනමගේ සහෝදරියගේ නිවසට පසුගිය 16 වැනි දින ගොස් ඇත.
එහිදී සැකකාර හිමිනම විසින් නිලධාරියාට දුරකථනයෙන් පණිවුඩයක් ලබා දී තිබූ බවත් ඒ අනුව හිමිනම සහ පොලිස් නිලධාරියා පල්ලේගම ගංගොඩ පාර පිහිටි සම්බෝධි වැඩිහිටි නිවාසය අසල දී හමු වී ඇති අතර එම අවස්ථාවේ දී සිදු වූ බහින්බස් වීමක් දුරදිග යෑමෙන් පසුව සැකකාර හිමිනම විසින් බෑගයේ සඟවා තිබූ තියුණු ආයුධයකින් පොලිස් නිලධාරියාගේ ගෙල ප්‍රදේශයට පහර දී තිබුණා.
අදාල පහරදීම සිදු කළ සැකකාර හිමිනම දෙනියාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන මොරවක මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට තිබූ අතර, සැකකාර හිමිනම් මේ මස 29 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි වාර්තා වන්නේ.