මහජන බැංකුව ගැන ශ්‍රී ලංකාවට සතුටුදායක ආරංචියක්..කරපු වැඩේ මෙන්න.
අසාදු ලේඛනගත වූ මහජන බැංකුව චීන තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ කාර්යාලය විසින් එම අසාදු ලේඛනයෙන් ඉවත් කර ඇති බව චීන තානාපති කාර්යාලය නිවේදනය කරනවා.
චීන තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ කාර්යාලය විසින් මහජන බැංකුව අසාදු ලේඛනයෙන් ඉවත් කර ඇති බවට අද (11) දිනයේ නිවේදනය කළා.
මෙලෙස මහජන බැංකුව චීනය විසින් අසාදු ලේඛනගත කරනු ලැබුවේ, පසුගිය දා මහත් අර්බුදයකට සහ ආන්දෝලනයකට තුඩු දුන් චීන පොහොර නැව සම්බන්ධයෙන් පැන නැගි ණයවර ලිපි පිළිබඳ ගැටලුවක් සම්බන්ධයෙනුයි.
දෙපාර්ශ්වයක් අතර පැවති ගිවිසුම් කඩ කරමින් ණයවර ලිපියකට අදාළව ගෙවීම් සිදු නොකිරීම නිසා මහජන බැංකුව අසාදු ලේඛනගත කළ බව 2021 වසරේ ඔක්තෝම්බර් මස 29 වැනි දින ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනය කළා.
නිවේදනයක් නිකුත් කරමින් චීන තානාපති කාර්යාලය සඳහන් කළේ, තානාපති කාර්යාලයේ ආර්ථික සහ වෙළෙඳ කාර්යාලය විසින් අදාළ පියවර ගනු ලැබූ බවයි.
මෙම තීරණය අනුව ශ්‍රී ලංකාව සමග සිදු කරන ජාත්‍යන්තර ගනුදෙනුවලදී මහජන බැංකුව විසින් නිකුත් කරන ණයවර ලිපි පිළිගැනීමෙන් වළකින ලෙසත්, අවදානම පාලනය කර ගැනීම සඳහා පියවර ගන්නා ලෙසත්, සියලුම චීන ව්‍යවසායකයින්ට දැනුම් දීමට චීන තානාපති කාර්යාලය විසින් පියවර ගනු ලැබුවා.
පොහොර ගනුදෙනුවට අදාළව දෙපාර්ශවය අතර ඇතිකරගත් එකඟතා මත මෑතකදී විවෘත කළ ණයවර ලිපියට අදාළව ගෙවීම් කරන ලෙස චීනයේ චින්දාඕ සීවිං බයෝටෙක් සමාගම මහජන බැංකුවෙන් ඉල්ලා ඇති බවයි චීන තානාපති කාර්යාලය සඳහන් කළේ.
ව්‍යාපාරික නීතිරීති සහ ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රතිපත්තීන්ට අනුව මහජන බැංකුව ක්‍රියා නොකිරීම නිසා මෙම ණයවර ලිපියට අදාළ ගෙවීම් නොකිරීමෙන් චීන සමාගමට බරපතළ පාඩුවක් සිදුව ඇතැයි චීන තානාපති කාර්යාලය පෙන්වා දුන්නා.
කෙසේ වෙතත් චීන සමාගම එවූ පොහොර සාම්පල 2ක අහිතකර බැක්ටීරියා හමුවීම හේතුවෙන් මෙම පොහොර තොගය මිලදී නොගැනීමට ශ්‍රී ලංකාව තීරණය කෙරුණ ද, ඊට අදාළව රජයේ පොහොර සමාගම් දෙක කොළඹ වාණිජ මහාධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව අදාළ චීන සමාගමට ණයවර ලිපිවල සඳහන් මුදල් ගෙවීමෙන් වළකින ලෙස අතුරු නියෝගයක් ද නිකුත් කෙරුණා.
එහෙත් අවසානයේ දී අදාළ චීන පොහොර නැවට සහ සමාගමට ඇමරිකානු ඩොලර් මිලියන 6.9ක මුදලක් ගෙවීමටයි වාණිජ මහාධිකරණය විසින් ගත් අවසන් තීන්දුවේ දැක්වුණේ.
මෙම ගෙවීම් අවසන් වීමෙන් පසුවයි මෙලෙස මහජන බැංකුව චීනය විසින් අසාදු ලේඛනයෙන් ඉවත් කර ඇති බවට අද දිනයේ දී නිවේදනය කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |