පොලිස් වෙස්ගත් "ගල් ඔළුවා" ඇතුළු 10 අල්ලයි

Colombo Sri Lanka Sri Lanka Magistrate Court Sri Lanka Police Investigation
By Sewvandhi Jul 23, 2023 10:51 AM GMT
Report

පොලීසිය විසින්, පොලිස් වෙස් ගෙන නිවෙස්වලට බලහත්කාරයෙන් ඇතුළු වී නිවැසියන්ට පහර දී දේපොළ කොල්ලකන කල්ලියක මහ මොළකරුවන පාදුක්කේ 'ගල් ඔළුවා' නමැති අපරාද කල්ලි සාමාජිකයා ඇතුළු සැකකරුවන් 10දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, හොරණ පොකුණුවිට ප්‍රදේශයේ බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ගෙන් ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලීමකදීය.

මෙම වැටලීමේදී හෙරොයින් මිලිග්‍රෑම් 10,000ක් සමග කොල්ල කල්ලියේ මහ මොළකරු වන 'ගල් ඔළුවා' නැමැත්තා ඇතුළු අපරාධ කල්ලියේ සැකකරුවන් 10 දෙනෙක් අත්අඩංගුවට ගැණුනි.

මේ අතර මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී පොලිස් ඇඳුම්වලට සමාන ජැකට්, බොටම් කලිසම්, ඒවායේ ලාංඡන මුද්‍රණය කළ අච්චුවක්, රිවෝල්වර හැඩැති අවියක්, කඩු ඇතුළු තියුණු ආයුධ, යතුරු පැදි 4ක්, කොල්ල කෑ මුදල් යොදා මිලදී ගත් ත්‍රිරෝද රථ 2ක්, කොල්ල කෑ පවුම් 37ක රන් භාණ්ඩද සොයා ගැණුනි.

නිවාස, වාහන, රන් භාණ්ඩ ඇතුළු දේපොළ කොල්ල කෑම් 12ක් ඔවුන් විසින් සිදුකර ඇති බවත්, එහි වටිනාකම රුපියල් කෝටිය ඉක්මවන බවත්, ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී තිබේ.

පසුගියදා අඟුරුවාතොට, හල්තොට ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසට පොලිස් වෙස් ගෙන පැමිණි රුපියල් ලක්ෂ 36ක මුදල් හා රන් භාණ්ඩ කොල්ල කා ඇත්තේද මෙම පිරිසම බව පොලීසිය පැවසුවේය.

ඊයේ (22) රැඳවුම් නියෝග මත සිටි සැකකරුවන් හොරණ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය. එහිදී ප්‍රධාන සැකකරු සතියක රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කිරීමටත්,සෙසු සැකකරුවන් නවදෙනා අගෝස්තු 3වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමටත් නියෝග කෙරුණි.