අධිකරණය හමුවේ විදුලිබල මණ්ඩලය ගෙවීමට එකඟ වෙයි

Government Of Sri Lanka Ceylon Electricity Board Sri Lanka Government
By Sewvandhi Feb 13, 2024 08:50 AM GMT
Report

අද (13) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අලුතින් විදුලි සැපයීමක් ලබාදීමේදී ලංකා විදුලිබල මණ්ඩලය විසින් පාරිභෝගිකයින්ගෙන් අයකර ගන්නා තැන්පතු මුදල් සඳහා 2023 වසර වෙනුවෙන් පොලියක් ගෙවීමට සූදානම් බව ලංකා විදුලිබල මණ්ඩලය දැනුම් දුන්නේය.

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති පාරිභෝගික සංගමය විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද එස්. තුරෙයිරාජා, ගාමිණී අමරසේකර සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකෙරුණි.

එම අවස්ථාවේදී ලංකා විදුලිබල මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා අධිකරණය හමුවේ කරන දක්වමින් නව විදුලි සම්බන්ධතා ලබාදීමේදී ලංකා විදුලිබල මණ්ඩලය විසින් පාරිභෝගිකයින්ගෙන් අයකර ගන්නා තැන්පතු මුදල් වෙනුවෙන් 2023 වසර සඳහා සියයට 11.67ක වාර්ෂික පොලියක් ගෙවීමට සූදානම් බව දැනුම් දුන්නේය.

එම පොලිය 2024 වසරේ ජනවාරි මාසයේ සිට ගෙවීමට ලංකා විදුලිබල මණ්ඩලය විසින් කටයුතු කරන බවත් ඔහු දන්වා සිටියේය. මෙම ගෙවීම නිසි පරිදි ක්‍රියාත්මක වන්නේදැයි සොයාබැලීම සඳහා අදාළ පෙත්සම යළි ලබන මාර්තු මස 21 වන දා කැඳවන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා මාර්ගයෙන් ගොනුකර තිබෙන පෙත්සම් තුළින් පෙත්සම්කරුවන් කියා සිටින්නේ, ලංකා විදුලිබල මණ්ඩල පනතේ 28(3) වගන්තිය යටතේ නව විදුලි සම්බන්ධතා ලබාදීම සඳහා පාරිභෝගිකයින්ගෙන් අය කර ගන්නා තැන්පතු මුදල වෙනුවෙන් පොලියක් ගෙවීමට එම මණ්ඩලය කටයුතු කළ යුතු බවය.

එහෙත් ලංකා විදුලිබල මණ්ඩලය විසින් මේ දක්වා එවැනි පොලී ගෙවීමක් සිදුකර නොමැති බවත් මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඉල්ලමින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබිණි.