ශිෂ්‍යත්වය අතරතුර හදිසි අනතුරකට මුහුණදුන් පුංචි පුතුට පිහිටවු පොලිස් මාමා..
රාජකාරිය දේවකාරියටත් එහා යන දෙයක් බව අපි අමුතුවෙන් කිවයුතු නැත. ඒ දේවකාරිය වැනි රාජකාරිය අතරේදීම ඉන් එහාට ගිහින් පුංචි දරුවෙක්ට සෙනෙහස පෑ පොලිස් නිලධාරියෙකු ගැන බොරලැස්ගමුව ප්‍රදේශයෙන් අපට අද (15) වාර්තා විය.
නිලීෂ දේශාන්ජන පුංචි පුතා ඉගෙනගන්නේ බෝකුන්දර මහින්ද කනිෂ්ඨ විද්‍යාලයේ ය. නිලීෂ අද, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිටියේ බොරලැස්ගමුව මහා විද්‍යාලය විභාග මධ්‍යස්ථානයේදීය.
පළමු ප්‍රශ්න පත්‍රයට සාර්ථකව මුහුණදුන් නිලීෂ දෙවැනි ප්‍රශ්න පත්‍රයට පෙර ලද මිනිත්තු පහළොවේ විවේක කාලයේදී හදිසි අනතුරකට මුහුණ දී තිබුණි. තවත් පුංචි දඟයෙකු සමග තරගයට වැසිකිළියට දිවගිය නිලීෂ පය පැටලී බිම වැටෙන්නේ හිසටත් තුවාල සිදුවෙමිනි.
එම අවස්ථාවේ විභාග මධ්‍යස්ථානයේ ආරක්ෂක රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියා වහා ක්‍රියාත්මක වී තිබුණි. ඔහු බොරලැස්ගමුව පොලීසියේ පරිසර අංශයේ ස්ථානාධිපතිවරයා වන උප පොලිස් පරීක්ෂක ධර්මදාස එගොඩආරච්චි මහතාය.
වහාම විභාග ශාලාධිපතිවරයා දැනුවත් කරන ධර්මදාස මහතා සිය පෞද්ගලික මෝටර් රථයෙන්ම නිලීෂව විනාඩි කිහිපයක් තුළ වේරහැර කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලට රැගෙන ගොස් තිබුණි.
එහිදී වෛද්‍යවරුන්ට කරුණු පහදන ඔහු ඉල්ලා සිටින්නේ දරුවාට හැකි ඉක්මනින් ප්‍රතිකාර ලබාදෙන ලෙසය. ඒ අනුව කඩිනමින් ප්‍රතිකාර ලබන දරුවා විභාග ශාලාව වෙත යළි රැගෙන එන උප පොලිස් පරීක්ෂකවරයා විභාග ශාලාධිපතිවරයා ඇතුළු වගකිය යුතු අංශ සිද්ධිය සම්බන්ධයෙන් දැනුවත් කළේය.
ඒ අනුව නිලීෂට අසාධාරණයක් නොවන පරිදි දෙවැනි ප්‍රශ්න පත්‍රය සඳහා අමතර කාලයක් හිමිවිය.
විභාගය මැද දඟකාරකම් පාන්න ගිහින් අනතුරට ලක්වන නිලීෂට, පොලිස් මාමාගේ ආදරය සෙනෙහස හේතුවෙන් නැවත් ඉක්මනින් සාර්ථකව විභාගයට මුහුණදීමට අවස්ථාව ලැබුණි.(උපුටාගැනීමක්)