ශ්‍රී ලංකා මහ බැංකුව හරහා කරන්න යන විශේෂ දේ මෙන්න..

Central Bank of Sri Lanka Sri Lanka
By Aruna Jun 24, 2022 05:02 AM GMT
Report

 ශ්‍රී ලංකා මහ බැංකුව ජාත්‍යන්තර ගනුදෙනු වාර්තාකරණ පද්ධතියක් (ITRS) නමින් නව දත්ත රැස් කිරීමේ පද්ධතියක් හඳුන්වා දී තිබෙනවා.

බැංකු පද්ධතිය හරහා සිදුවන ජාත්‍යන්තර ගනුදෙනු හා දේශීය විදේශ මුදල් ගනුදෙනු අධීක්ෂණ පද්ධතියක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනිමින් බලපත්‍රලාභී වාණිජ බැංකු හා බලපත්‍රලාභී විශේෂිත බැංකුවල සහභාගිත්වයෙන් එම දත්ත රැස් කිරීමේ පද්ධතිය මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරනු ලැබ ඇත.

ජාත්‍යන්තර ගනුදෙනු වාර්තාකරණ පද්ධතිය යනු දේශසීමා අතර සිදුවන ගනුදෙනු හා දේශීය විදේශ මුදල් ගනුදෙනු පිළිබඳ සවිස්තරාත්මක දත්ත රැස්කිරීමේ පද්ධතියකි.

එම පද්ධතිය මගින් දැනට පවතින දත්තවල අඩුපාඩු රාශියක් පිරවීමට හැකිවන බව ද ඊට අමතරව අපනයන ඉපැයීම්, ආනයන, තොරතුරු තාක්ෂණය මත පදනම් වූ ව්‍යාපාර ක්‍රියාවලි බාහිර මූලාශ්‍ර වෙත පැවැරීම වැනි සේවා සිදුවේ.

ගනුදෙනු, විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ, මූල්‍ය ගිණුම් ගනුදෙනු ඇතුළු ගෙවුම් තුලන සංඛ්‍යාත වැඩි දියුණු කිරීම ආදී අරමුණු ගණනාවක් එම දත්ත පද්ධතිය මගින් ඉටුකර ගත හැකි බව ද මහ බැංකුව ප්‍රකාශ කරයි.

අනාගත ප්‍රතිපත්ති තීරණ සඳහා උපකාරී වන අධ්‍යාපනය, වෛද්‍ය, සංචාරක සහ වෙනත් අරමුණු සඳහා රටින් ගලායන විදේශ විනිමය ප්‍රවාහයේ ප්‍රභවය සම්බන්ධ තොරතුරු ලබාගැනීමට ද ජාත්‍යන්තර ගනුදෙනු වාර්තාකරණ පද්ධතිය උපකාර වන බව ද මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කර සිටී.

ජාත්‍යන්තර ගනුදෙනු වාර්තාකරණ පද්ධතියේ පළමු අදියර 2022 වසරේ ජුනි 21 සිට සජීවීව ක්‍රියාත්මක කිරීමට නියමිත ය.

1949 අංක 58 දරන මුදල් නීති පනත, 1988 අංක 30 දරන බැංකු පනත හා 2017 අංක 12 දරන විදේශ විනිමය පනත මගින් ලබාදී ඇති බලතල මත පදනම්ව එම වාර්තාකරණ අවශ්‍යතා ක්‍රියාත්මක වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now