ලංකාවේ හැදුනු ලොකුම පීට්සා එක. - (PHOTOS)
අද දින එනම් පෙබරවාරි මස 09 දිනට යෙදී ඇති ලෝක පීට්සා දිනය නිමිත්තෙන් මීගමුව, ඒත්තුකාළ ප්‍රදේශයේ පිහිටි ටුක් ටුක් වයින් ඇන්ඩ් ඩයින් හෝටලය ලංකාවේ විශාලතම පීට්සාව ඊයේ (08) රාත්‍රී එම හෝටල් පරිශ්‍රයේදී නිර්මාණය කරනු ලැබුවා.
මේ සදහා එම හෝටලයේ විධායක සූපවේදී දුමින්ද වනිගසේකර මහතා මූලිකත්වය ගෙන ක්‍රියා කළ අතර අගල් 50 දිග මෙම පීට්සා එක කිලෝ ග්‍රෑම් 12 ක බරකින් යුතුයි.
මෙම පීට්සාව නිර්මාණය කිරීම සදහා තක්කාලි මිශ්‍රණයක්, මොසැරැල්ලා චීස්, කුකුළු මස්, සොසේජස්, විවිධ පාට සහ රස වර්ග 04කින් යුතු බෙල් පෙපර් , ඔලිව් තෙල් සහ බී ළූණු භාවිතා කර තිබූ අතර මෙම පීට්සා ව විනාඩි 08 ක කාලයකින් පුළුස්සා නිම කර ගැනීමට හැකි වී තිබෙනවා.
මෙය රස බැලීම සඳහා 100 කට අධික පිරිසක් මෙම හෝටල් පරිශ්‍රයට පැමිණ සිට ඇති අතර එකවර 08 දෙනෙකුට භුක්ති විදීමට හැකි වන පරිදි අගල් 25 ක් දිග වන ආකාරයට සකස් කර පීට්සා කැබළි ඔවුන්ට ආහාර සඳහා ලබා දී තිබුනා.
පසුගිය 2021 වසරේ දී මෙම හෝටලය අගල් 40 ක් දිග පීට්සා වක් ලෝක පීට්සා දිනය නිමිත්තෙන් සකස් කර තිබුනා..