සිගිත්තිය සමග අතුරුදන් වූ 24 හැවිරිදි මව - නිවසේ මැකී ගිය ලේ පැල්ලම්

Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sewvandhi Jul 19, 2023 04:29 PM GMT
Report

අඟුරුවාතොට පොලිසිය වෙත අඟුරුවාතොට, ඌරුතුඩාව ප්‍රදේශයේ 24 හැවිරිදි එක්දරු මවක් සිය මාස 11ක් පමණ වයසැති සිඟිත්තිය සමඟ අතුරුදන්ව ඇතැයි පැමිණිල්ලක් ලැබී තිබේ.

පොලීසිය පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට එම කාන්තාවගේ ඥාති සොහොයුරකු පොලිස් භාරයට ගෙන ඇති අතර, කාන්තාවගේ නිවසේ මැකී ගිය ලේ පැල්ලම් කිහිපයක් ද නිරීක්ෂණය කළ බවයි.

ඊයේ (18) පස්වරුවේ සිට අතුරුදන් වූ වාසනා කුමාරි, 24 හැවිරිදි එක්දරු මවක් වන අතර, ඇය සිය 11 හැවිරිදි සිඟිත්තිය ද සමග අතුරුදන්ව ඇති බව පවසමින් ඇයගේ සැමියා අඟුරුවාතොට පොලිසියට මෙම පැමිණිල්ල කර ඇත.

ඒ අනුව, විමර්ශන ඇරඹූ පොලිස් සොකෝ නිලධාරින් අද දහවල් එම නිවස පරීක්ෂා කර ඇති බව වාර්තා වෙයි. එහිදී නිවසේ ශීතකරණයේ දොරෙහි සහ නිවසේ බිම තිබූ මැකී ගිය ලේ පැල්ලම් කිහිපයක් පොලිසියට නිරීක්ෂණය වී තිබෙනව.

නිවසෙහි වැසිකිළි වළ හා අවට කැලෑබද ප්‍රදේශද පොලිසිය විසින් පරීක්ෂාවට ලක් කර තිබේ. කෙසේවෙතත් ඔවුන් දෙදෙනා හමු නොවුණු බැවින් පොලිසිය මේ වනවිට විමර්ශන පුළුල් කර ඇති බව වාර්තා වෙයි.

අතුරුදන් වූ වාසනාගේ සැමියා පවසන්නේ, සිද්ධිය සම්බන්ධයෙන් සිය සොහොයුරියගේ සැමියා පිළිබඳ සැකයක් පවතින බවය. මේ බව ඔහු පොලිසියට සැල කර ඇති අතර, පොලිසිය මේ වනවිට එම පුද්ගලයා සිය භාරයට ගෙන තිබේ. ඔහු හිටපු හමුදා සෙබළෙකු වන බව වාර්තා වෙයි.

මේ අතර පොලිස් නිල සුනඛ බෘෘනෝ යොදවා එම නිවසද පරීක්ෂා කර ඇති අතර, අතුරුදන් කාන්තාව භාවිත කළ තුවාය සුනඛයාට ඉවකිරීමට ලබාදීම සඳහා සොයා තිබුණද එය නිවසේ නොතිබූ බව සඳහන් ය.

පසුව ඇගේ පාවහන් යුගළ සහ හිස පීරන පනාව පොලිස් සුනඛයා විසින් ඉවකරනු ලැබ ඇති අතර, ඉන්පසු සුනඛයා, මේ වනවිට පොලිස් භාරයේ සිටින තැනැත්තාගේ ත්‍රීරෝද රථය වෙත ගොස් නතර වූ බව අප වාර්තාකරු පැවසීය. සිද්ධිය සම්බන්ධයෙන් අඟුරුවාතොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.