නොදැනුවත්වම ඔබේ හදවතට හානි විය හැකි අවස්ථා.

Ministry of Health Sri Lanka Healthy Food Recipes
By Wayomi Sep 20, 2022 04:45 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

ඔබ දන්නවා, වැරදි ආහාර පුරුදු, තෙල් පිටි වගේ නරක ආහාර, වෙනත් රෝගාබාධ සහ අඩු ව්‍යායාම හෘද රෝග වලට ඉණිමං බඳින බව. හැබැයි ඔබ නොදැනුවත්වම හෘදයාබාධ ඇති කරන තවත් සාධක තියෙන්න පුළුවන්. ඉතින් මේ කියන්න යන්නේ ඒවායෙන් කිහිපයක්.

දන්ත ගැටළු

🔸 විදුරුමස් රෝග ඇති අයට හෘද රෝග ඇතිවීමේ ඉඩකඩ වැඩියි.

🔸 එහි ඇති සම්බන්ධතාවය මෙතෙක් හෙලිවී නොමැති නමුත් සමහර පර්යේෂකයින් සිතන්නේ විදුරුමස් වලින් බැක්ටීරියා ඔබේ රුධිරයට ගමන් කළ හැකි අතර එය රුධිර නාල වල ප්‍රදාහයන් (inflammation) හා අනෙකුත් හෘදරෝග ඇතිවීමට හේතුවක් වන බවයි.

🔸 ඔබේ විදුරුමස් ඉදිමී රතුවී හෝ තුවාලවී තිබෙන්නේ නම් වහාම දන්ත වෛද්‍යවරයකු හමුවන්න.


රෑ වැඩ මුරය

🔸 කැනඩාවේ බටහිර විශ්ව විද්‍යාලයේ කරන ලද අධ්‍යයනයකට අනුව, රාත්‍රියේ වැඩ කිරීම හෝ අක්‍රමවත් වැඩ මුරය හෘදයාබාධ ඇතිවීමේ අවදානම වැඩි කරයි.

🔸 පර්යේෂකයන් පවසන්නේ වැඩ මුර ක්‍රමය ශරීරයේ සර්කැඩියානු රිද්මයට (අභ්‍යන්තර ඔරලෝසුව) (circadian rhythm) අහිතකර ලෙස බලපාන අතර එය හදවතට හානි කරන බවයි.

🔸 ඒ නිසා ඔබත්, රෑ වැඩ කරනවා නම්, හෘද රෝග ඇතිවීමේ අවදානම අඩු කිරීමට අමතර පියවර ගන්න.

🔸 ව්‍යායාම් කරන්න, සමබර ආහාර වේලක් අනුභව කරන්න, නිතිපතා ඔබේ වෛද්‍යවරයා හමුවී අවශ්‍ය පරීක්ෂණ අහ උපදෙස් ලබාගන්න.


මාර්ග තදබදය

🔸 මාර්ග තදබදය (traffic) නිසා ඇතිවන නොඉවසිල්ල, කලකිරීම සහ අධික ශබ්දය, ආතතිය ඇතිකිරීමට හේතු වන අතර ඒවා හෘද රෝග සමඟද සම්බන්ධ වෙනවා.

🔸 කාර්යබහුල වේලාවක ගමන් කිරීම ඔබට වළක්වා ගත නොහැකි නම්, සැහැල්ලු සංගීතයට සවන්දීම හෝ සෙසු මගීන් සමඟ කතා කර කර යෑමෙන් ආතතිය අඩු කර ගැනීමට උත්සාහ කරන්න.


ඔසප් වීම නැවතීම

🔸 ඔබ කාන්තාවක් නම් සහ ඔබ වයස අවුරුදු 46 ට පෙර ඔසප් වීම නැවතීමට ලක් වුවහොත්, ඔබට හෘදයාබාධයක් ඇතිවීමේ අවදානම අන් අයට වඩා දෙගුණයක් විය හැකියි.

🔸 ඔසප් වීම නැවතීම නිසා හදවතට හිතකර ඊස්ට්‍රජන් හෝමෝනය පහත වැටීම හෘද රෝග සඳහා වන අවදානම් සාධකයකි.

🔸 එහෙම වුණොත් අවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ කරගන්න.


නින්දෙන් ගෙරවීම

🔸 ඔබ නිතිපතා ගොරවනවා නම් හෝ ඔබ නිදා සිටියදී අමාරුවෙන් හුස්ම ගන්නවා සේ පෙනේ නම්, වහාම වෛද්‍යවරයකු හමුවන්න.

🔸 ඔබට ඇප්නියා (apnea) නම් බරපතල තත්වයක් තිබිය හැකියි.

🔸ඔබේ ස්වසන මාර්ගය අර්ධ වශයෙන් අවහිර වූ විට එය සිදුවිය හැකි අතර එමගින් ඔබගේ හුස්ම ගැනීමේ විරාමයක් (pauses in your breathing) ඇති කරයි.

🔸 මෙම ආබාධය අධි රුධිර පීඩනය, අක්‍රමවත් හෘද ස්පන්දනය, ආඝාතය සහ හෘදයාබාධ ඇතිවීම සමඟ සම්බන්ධ වෙනවා.

🔸 නිසි ප්‍රතිකාර ලබාගැනීම මඟින් ඔබට පහසුවෙන් හුස්ම ගැනීමට සහ හෘද රෝග සඳහා ඇති අවදානම ද අඩු කරගන්න පුළුවන්.


හෙපටයිටිස් සී

🔸 ඔබට මෙම අක්මා ආසාදනය ඇත්නම්, ඔබට එම රෝගය නොමැති පුද්ගලයින්ට වඩා අඩු කොලෙස්ටරෝල් හා අඩු රුධිර පීඩන මට්ටමක් තිබීමේ ඉඩකඩ වැඩියි.

🔸 නමුත් එසේ වුවද, ඔබට තවමත් හෘද රෝග ඇතිවීමේ වැඩි අවදානමක් ඇත.

🔸 පර්යේෂකයන් සිතන්නේ හෙපටයිටිස් සී මගින් හෘදයේ සෛල ඇතුළු ශරීරයේ සෛල හා පටක වල ප්‍රදාහ (inflammation ) තත්ත්වයක් ඇතිවිය හැකි බවයි.


හොඳ නින්දක් නොලැබීම

🔸 ඔබ සාමාන්‍යයෙන් රාත්‍රියකට පැය 6 කට වඩා අඩු කාලයක් නිදාගන්නේ නම්, එය ඔබේ අධි රුධිර පීඩන හා කොලෙස්ටරෝල් අවදානම වැඩි කරයි.

🔸 එය ඔබ තරබාරු වී දියවැඩියාව වැළඳීමේ අවදානම වැඩි කරයි (මේ දෙකම ඔබේ හදවතට හානිකර විය හැකිය).

🔸 එයින් අදහස් කරන්නේ ඔබ දවස පුරා නිදා සිටිය යුතු බව නොවේ. අඩු තරමින් පැය 7 ක කාලයක හොඳ නින්දක් ලබාගැනීම අවශ්‍ය බවයි.


අවාසනාවන්ත විවාහය

🔸 හොඳ විවාහයක් ඔබව සතුටින් තබන අතර ඔබේ හදවතද සෞඛ්‍ය සම්පන්න කරයි.

🔸 මිචිගන් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ නවතම අධ්‍යයනයකට අනුව, යහපත් විවාහ දිවියක් ගත කරන වැඩිහිටියන්ට හෘද රෝග ඇතිවීමේ අවදානම අඩුයි.

🔸 ඊට හේතු වන්නේ අඩු ආතතියයි.

🔸 ඔබ ආතතියට පත්වන විට, ඔබ අධික ලෙස මත්පැන් පානය කිරීම සහ අයහපත් ආහාර වලට යොමුවීම වැනි හදවතට අහිතකර දේ කිරීමට වැඩි ඉඩක් ඇත.

🔸 එමෙන්ම , ආතති හෝමෝන හදවතට අහිතකර ලෙස බලපායි.


තනිකම

🔸 ඔබ ආදරණීයයන් සමඟ කාලය ගත කරන විට, එය මානසික ආතතිය වළක්වන අතර නිරෝගීව සිටීමට ඔබට උපකාරී වෙනවා.

🔸 හුදකලා මිනිසුන්ට හෘද රෝග ඇතිවීමේ ඉඩකඩ වැඩිය.

🔸 ඔබට පවුලේ අය හෝ සමීප මිතුරන් නොමැති නම්, අවශ්‍යතා ඇති කෙනෙකුට උදව් කිරීමෙන් සම්බන්ධ වන්න, නැතහොත් බල්ලෙකු හෝ බළලෙකු හදා ගන්න.


බඩේ මේදය තැන්පත් වීම

🔸 තරබාරු වීම ඔබේ හදවතට අහිතකරයි.

🔸 එහෙත් බඩේ මේදය තැන්පත් වීම නිසා රුධිර පීඩනය ඉහළ නැංවිය හැකි හෝමෝන හා කොලෙස්ටරෝල් මට්ටමට අයහපත් බලපෑමක් ඇති කළ හැකි වෙනත් රසායනික ද්‍රව්‍ය ශරීරය තුල නිපදවීමේ ප්‍රවණතාවයක් ඇති කරයි.

🔸 ඔබ කාන්තාවක් නම් සහ ඔබේ ඉණ අඟල් 35 ට වඩා වැඩි නම් හෝ ඔබ පිරිමියෙකු නම් ඉණ අඟල් 40 ක් හෝ ඊට වැඩි නම්, ආහාර සහ ව්‍යායාම මගින් බර අඩුකර ගැනීමට උත්සහ කරන්න.


රූපවාහිනිය නැරඹීමේ කාලය වැඩිවීම

🔸 ඔබ දිනපතා රූපවාහිනිය නැරඹීමට වැය කරන සෑම පැයකටම ඔබේ හෘදරෝග සෑදීමේ අවදානම 20% කින් පමණ වැඩි විය හැකියි.

🔸 බොහෝ වේලාවක් එක දිගට වාඩිවී සිටීම මීට හේතුවයි.

🔸 එය අධි රුධිර පීඩනය වැනි ගැටළු සමඟ සම්බන්ධ වෙනවා. .


ඕනෑවට වඩා ව්‍යායාම් කිරීම

🔸 ව්‍යායාම් ඔබේ හදවතට හිතකරයි.

🔸 නමුත් ඔබ තරබාරු නම් හෝ ඉඳහිට ව්‍යායාම් කරන්නේ නම්, සෙමින් ව්‍යායාම් කිරීම ආරම්භ කර ඔබේ දරාගැනීමේ හැකියාව ගොඩනඟා ගන්න.

🔸 අධික වෙහෙසකින් කරන ව්‍යායාම් නිසා හෘදයට අවදානමක් ඇති කළ හැකි බව පර්යේෂණ වලින් පෙන්වා දෙනවා.

🔸 ඔබට හෘද රෝග ඇතිවීමේ වැඩි අවදානමක් තිබේ නම්, ඔබේ වෛද්‍යවරයා සමඟ කතා කර, ව්‍යායාම් කරන අතරතුර හෘද මොනිටරයක් ​​භාවිතා කිරීම ගැන සලකා බලන්න. 


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW