මුහුදු ප්‍රදේශ කිහිපයකට තද සුළං අවදානමක් - ධීවර හා නාවික ප්‍රජාවට අවවාද

Department of Meteorology Weather Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Jul 19, 2026 07:36 AM GMT
Report

හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ කල්පිටිය සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, අදාළ මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ත් 60ත් අතර දක්වා ඉහළ යා හැකි බවයි.

එමෙන්ම, එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු ස්වභාවයක් ගත හැකි බැවින්, ධීවර හා නාවික කටයුතුවල නිරත වන ජනතාව මේ පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ඉදිරියේදී නිකුත් කෙරෙන කාලගුණ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසද ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

මේ අතර, දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද සුළං ඇතිවීමේ අවදානමක් පිළිබඳව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවත් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව, උතුරු, උතුරු-මැද සහ මධ්‍යම පළාත්වලට මෙන්ම රත්නපුර, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක සඳහා මෙම අවවාදය බලපැවැත්වේ.

දිවයින හරහා පවතින සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු සහ උතුරු-මැද පළාත්වලත්, අදාළ දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර වේගයෙන් තද සුළං හමා යා හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.