“ශ්රී ලංකාව වෙනුවෙන් අපි දිගටම ඉන්නවා” - IMF වෙතින් විශේෂ ප්රකාශයක්
ජාත්යන්තර මූල්ය අරමුදල (IMF) ඉදිරියටත් ශ්රී ලංකාව වෙනුවෙන් විශ්වාසවන්ත සහකරුවෙකු ලෙස කටයුතු කිරීමට කැපවී සිටින බව එහි ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ නියෝජ්ය අංශ ප්රධානී සොනාලි ජේන්-චන්ද්රා මහත්මිය පවසයි.
තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන ජාත්යන්තර මූල්ය අරමුදලේ සහ ලෝක බැංකු සමූහයේ වාර්ෂික හමුවට සමගාමීව අද (15) පෙරවරුවේ පැවති මාධ්ය හමුවකදී ශ්රී ලංකාවේ ආර්ථික ප්රගතිය පිළිබඳව අදහස් දක්වමින් ඇය මේ බව සඳහන් කළාය.
වත්මන් ජාත්යන්තර මූල්ය අරමුදලේ මූල්ය වැඩසටහන අවසන් වීමෙන් පසුව තවත් මූල්ය හෝ තාක්ෂණික සහාය වැඩසටහනක් ලබාගන්නේද යන්න තීරණය කිරීම ශ්රී ලංකා බලධාරීන් සතු පූර්ණ අයිතියක් බව ද ඇය අවධාරණය කළාය.
මාධ්යවේදිනියක නැඟූ ප්රශ්නයකට පිළිතුරු දෙමින් ජේන් - චන්ද්රා මහත්මිය සඳහන් කළේ, වත්මන් වැඩසටහන යටතේ ශ්රී ලංකාව සැලකිය යුතු ආර්ථික ප්රගතියක් අත්කරගෙන ඇති බවයි.
එමෙන්ම, ඉදිරියේදී ශ්රී ලංකාවට සහාය ලබාදීම සඳහා විවිධ විකල්ප පවතින බව ද ඇය පෙන්වා දුන්නාය.
ඒ අනුව, නව මූල්ය පහසුකම් වැඩසටහනක් ක්රියාත්මක කිරීම, නිරීක්ෂණ රාමුවක් යටතේ ප්රතිපත්ති උපදෙස් ලබාදීම හෝ ආයතනික හා තාක්ෂණික හැකියාවන් වර්ධනය කිරීමේ වැඩසටහන් (Capacity Development) හරහා සහාය ලබාදීම ඇතුළු ක්රමවේද ඔස්සේ ශ්රී ලංකාවට සහාය වීමට ජාත්යන්තර මූල්ය අරමුදල සූදානමින් සිටින බව ඇය වැඩිදුරටත් ප්රකාශ කළාය.