තාවකාලිකව අත්හිටවූ වැඩ වර්ජන - පිරිසක් අඛණ්ඩ වර්ජනයේ..!

Sri Lanka Sri Lanka Bus Strike
By Sewvandhi සති 2 කට පෙර
Report

අද (16) සිට රජයේ නව බදු ප්‍රතිපත්තිය ඇතුලු ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් ආරම්භ කර තිබු වැඩ වර්ජන තාවකාලිකව අත්හිටුවීමට එම වෘත්තීය සමිති පියවර ගෙන ඇත. ඊයේ (15) දිනයේ තෙල්, වරාය, සෞඛ්‍ය, පාසල්, බැංකු, තැපැල් ඇතුළු ක්ෂේත්‍රවල වෘත්තීය සමිති 40ක් දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කරනු ලැබීය.

මේ හේතුවෙන් ඇතැම් ක්ෂේත්‍රයන්හි දෛනික කාර්යයන්වලට දැඩි බාධා එල්ල වීමත් සමග ජනතාව ද ඉන් පීඩාවට පත් වුණි. කෙසේවෙතත් අද දිනයේ සිට තාවකාලිකව එම වෘත්තීය ක්‍රියාමාර්ග අත්හිටුවීමට වෘත්තීය සමිති තීරණය කර ඇත. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කර තිබු වැඩවර්ජනය ද අද පෙරවරු 8.00 සිට තාවකාලිවක අත්හිටුවීමට පියවර ගන්නා බව එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේය.

එමෙන්ම අද(16) සිට දුම්රිය ධාවන කටයුතු ද සාමාන්‍ය පරිදි සිදුකිරිමට බලාපොරොත්තු වන බව දුම්රිය එංජින් රියදුරන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ආර්.යු.කොන්තසිංහ මහතා පැවසුවේය. එමෙන්ම ගුරු වෘත්තීය සමිති ද සිය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ද අද සිට තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් තම සංගමයේ ඉල්ලීම්වලට සෑහිමට පත්විය හැකි විසඳුම් නොලැබීම හේතුවෙන් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුකරන බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පවසයි. එහි සභාපති මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක මහතා පැවසුවේ ඊයේ රාත්‍රී රැස්වු එම සමිති සම්මේලනයේ විධායක කමිටු රැස්වීමේ දී එම තීරණය ගත් බවය.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සදහන් කලේ, ඊයේ පැවති වැඩ වර්ජනය හේතුවෙන් දළ ජාතික නිෂ්පාදනයට රුපියල් බිලියන 46ක් අහිමි වී ඇති බවය. වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් ඇති වූ පාඩුව පියවා ගැනීම පහසු කටයුත්තක් නොවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රියන්ත දුනුසිංහ මහතා සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now