රු. 15,000ක දීමනාව ප්‍රමාණවත් නැහැ - රාජ්‍ය ඉංජිනේරුවන් අද ලෙඩ නිවාඩු වාර්තා කරයි
රාජ්‍ය සේවයේ ඉංජිනේරුවන්ගේ වැටුප් ගැටලු සහ අනෙකුත් ඉල්ලීම්වලට විසඳුම් ලබා නොදීම හේතුවෙන් අද (13) ලෙඩ නිවාඩු වාර්තා කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමය පවසයි.
එම සංගමයේ නියෝජිත W.L.S. බණ්ඩාර මහතා මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් සඳහන් කළේ, ඉදිරි වර්ෂය සඳහා රජය අයවැයෙන් දැවැන්ත මුදලක් වෙන් කර තිබුණ ද, එම මුදල් වැය කිරීමේදී සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන ඉංජිනේරුවන්ගේ ගැටලු සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවධානයක් යොමු කර නොමැති බවයි.
ඉංජිනේරුවන්ගේ වැටුප් සම්බන්ධයෙන් පවතින ගැටලු කඩිනමින් නිරාකරණය කළ යුතු බවත්, ඔවුන්ට කිසිදු සහනයක් හෝ දිරි දීමනාවක් ලබාදීමට පියවර ගෙන නොමැති බවත් ඔහු පෙන්වා දුන්නේය.
ඉංජිනේරුවන් දිරිමත් කිරීමට රජය කටයුතු නොකළහොත් ඔවුන් රට හැර යාමේ අවදානමක් පවතින බව ද බණ්ඩාර මහතා අනතුරු ඇඟවීය.
ජනතාවට ප්‍රතිලාභ සැලසෙන සංවර්ධන වැඩපිළිවෙළක් සඳහා දායක වීමට ඉංජිනේරුවන් සූදානම් වුවද, අවශ්‍ය පහසුකම් ලබා නොදී තාක්ෂණික සේවාවන් කාර්යක්ෂමව පවත්වාගෙන යා නොහැකි බව ද ඔහු සඳහන් කළේය.
ඉංජිනේරුවන් වෙනුවෙන් සිදුකරන වියදම් හුදෙක් වියදමක් ලෙස නොව රටේ සංවර්ධනය වෙනුවෙන් සිදුකරන ආයෝජනයක් ලෙස සැලකිය යුතු බව පෙන්වා දුන් ඔහු, ඔවුන්ගේ වැටුප් සම්බන්ධ ඉල්ලීම්වලට සාධාරණ විසඳුමක් ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලා සිටියේය.
එමෙන්ම, දැනට යෝජනා කර ඇති රුපියල් 15,000ක දීමනාව ඉංජිනේරුවන්ගේ අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් නොවන බව ද W.L.S. බණ්ඩාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.